කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට සිරදඬුවම් විඳිමින් සිටින ශ්‍රී ලාංකික සිරකරුවන් 104 දෙනකු අතරින් 32 දෙනකු ඉතිහාසයේ පළමු වතාවට කුවේට් රාජ්‍යයේ සිට විශේෂ ගුවන් යානයකින් ඊයේ (25දා) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම ශ්‍රී ලාංකිකයන් කුවේට් රාජ්‍යය තුළ භයානක ඝනයේ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම, ජාවාරම් කිරීම සහ ප්‍රවාහනය කිරීම යන චෝදනා යටතේ එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර වැරදිකරුවන් වූ පිරිසකි. මොවුන් අතරින් කොටසක් ශ්‍රී ලංකාවට එවීම සඳහා ඉකුත් මාර්තු මාසයේ සිට කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්රමනියම් මහතා ප්රයත්න දරා තිබුණි. පසුව කුවේට් රාජ්‍යයේ රජතුමා සහ එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සමග ශ්‍රී ලංකා තානාපතිවරයා පැවති සමීප සබඳතා උපයෝගී කර ගනිමින් සහ ඔවුන් සමග මේ පිළිබඳ සාකච්ඡා වට ගණනාවක් සිදු කිරීමෙන් පසු මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මෙරටට එවීම සඳහා කුවේට් ගුවන් හමුදාව සතු විශාලතම සී – 17 වර්ගයේ ගුවන් යානයක් නොමිලේ ලබා ගැනීමට සමත් වී තිබුණි.
මෙම ශ්‍රී ලාංකික සිරකරුවන් ශ්‍රී ලංකාවට භාර දීමට පියවර ගෙන තිබුණ ද එම සිරකරුවන් හුවමාරු ගිවිසුම යටතේ මෙරට සිරදඬුවම් විඳින කුවේට් සිරකරුවන් කිසිවකු නොසිටීම විශේෂත්වයකි.
මෙම ශ්‍රී ලාංකික සිරකරුවන් රැගත් විශේෂ ගුවන් යානයේ පිටත්වීම නිරීක්ෂණය කිරීම සඳහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා කුවේට් සිටි ගුවන් හමුදා කඳවුර වෙත ඊයේ අලුයම ගොස් සිටි අතර මෙම ගුවන් යානය එරට වේලාවෙන් උදෑසන 07.06 ට කටුනායක ගුවන්තොටුපළ බලා පිටත් වී තිබේ. ශ්‍රී ලාංකික සිරකරුවන් පිරිස මෙම ගුවන් යානය තුළ අත්මාංචු දමා රැගෙන පැමිණ තිබූ අතර ඔවුන් සමග කුවේට් රාජ්‍යයේ ආරක්ෂක නිලධාරීන්, එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් පිරිසක් ද පැමිණ තිබුණි.
ඊයේ පස්වරු 02.30 ට කුවේට් ගුවන් හමුදාවට අයත් කේ.ඒ.එෆ්. – 3223 දරන ගුවන් යානය කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි අතර ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් බස් රථ සමූහයක් සමග කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිරකරුවන් පිරිස වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගියහ. මෙම කුවේට් නිලධාරීන් පිරිස සමග මෙම ගුවන් යානය අද (26දා) යළි කටුනායක ගුවන්තොටුපළෙන් කුවේට් රාජ්‍යය බලා පිටත්ව යෑමට නියමිතය.