තුන්කොන් පෙම මිනී මරයි 

තණමල්විල, හම්බෙගමුවේ සිට කොස්ලන්ද ප්‍රදේශයේ කැලෑවක් තුළට රැගෙන ගොස් 35 හැවිරිදි පුද්ගලයකුගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු හා සැකකාරිය ලබන මස 05 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් වරයා පෙරේදා (23 දා) නියම කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ හම්බෙගමුව, සූරියගොඩ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කාන්තාවක හා ඇයගේ නවක අනියම් සැමියා වූ බලහරුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි.

තුන්කොන් පෙම මිනී මරයි - අලුත් අනියම් සැමියා අනෙකාගේ ගෙල කපා වළදමා හිස නැති කඳ ඇළ ළඟට ගෙනත් දාලා

සඟවා තිබූ කැත්ත හා උදැල්ල

ඝාතනයට ලක්වූයේ අත්අඩංගුවට පත් කාන්තාවගේ පැරැණි අනියම් සැමියා වූ තණමල්විල, අරඹෙකෙම පදිංචි රොෂාන් දිනූක නමැති 35 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

තණමල්විල පොලිස් බල ප්‍රදේශයට අයත් හම්බෙගමුව සූරියගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක හා ඝාතනයට ලක් වූ පුද්ගලයා අතර කලක සිට අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබූ අතර එම කාන්තාව බලහරුව ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයෙකු සමගද අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇත. පසුව මෙම කාන්තාව හා නවක අනියම් සැමියා එක්ව මෙම කාන්තාවගේ පැරැණි පෙම්වතා වූ ඝාතනයට ලක් වු පුද්ගලයාගේ කැබ්රථය, කාන්තාවගේ නිවසේ රඳවා ගැනීමෙන් අනතුරුව ඔහුව රවටා ව්‍යාපාරික කටයුත්තකට බව පවසා යතුරුපැදියකින් හම්බෙගමුව ප්‍රදේශයේ සිට කොස්ලන්ද ප්‍රදේශයට රැගෙන ගොස් ගෙල කපා ඝාතනය කර තිබේ.

හම්බෙගමුව අරඹෙකෙම පදිංචි රණසිංහ ආරච්චිගේ කාන්ති ඉන්ද්‍රානි නමැති අය විසින් පසුගිය 18 දා තණමල්විල පොලිසියට පැමිණ සිය පුත්‍රයා දින කිහිපයක් තිස්සේ ආගිය අතක් නොමැති බවට පැමිණිල්ලක් සිදුකර තිබේ. එහිදී සිය පුත්‍රයා හම්බෙගමුව, සූරියගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය බවද පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

ඒ අනුව තණමල්විල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. පී. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කෙරුණි. ඒ අනුව අදාළ කාන්තාවගේ නිවසට ගොස් මේ පිළිබඳව ප්‍රශ්න කර තිබේ. එහිදී එම කාන්තාව පොලිසියට පවසා ඇත්තේ ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ කැබ් රථය තම නිවසේ තවතා ගිය බවත්, යන ස්ථානයක් පිළිබඳව කිසිවක් නොකී බවත්ය.

තුන්කොන් පෙම මිනී මරයි - අලුත් අනියම් සැමියා අනෙකාගේ ගෙල කපා වළදමා හිස නැති කඳ ඇළ ළඟට ගෙනත් දාලා

ඒ අනුව තණමල්විල පොලිසිය වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදි අනාවරණය වූයේ මෙම කාන්තාවට බලහරුව ප්‍රදේශයේ තවත් අනියම් සැමියකු සිටින බවත්, ඝාතනයට ලක් වූ පුද්ගලයා එම පුරුෂයා සමග යතුරුපැදියකින් කොස්ලන්ද දෙසට යනු දුටු බවත්ය. ඒ අනුව පොලිසිය යළිත් එම කාන්තාව පොලිසියට ගෙන්වා සිදුකළ ප්‍රශ්න කිරීමේදී එම කාන්තාව විසින් අනෙක් අනියම් සැමියාගේ තොරතුරු ලබාදී තිබේ.

එම කාන්තාවගේ ප්‍රකාශ අනුව බලහරුව පදිංචි 46 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබේ. එහිදී එම සැකකරු පොලිසියට පවසා ඇත්තේ මෙම කාන්තාව සමග තමන්ගේ අනියම් සබඳතාවක් පවතින බවත්, ඝාතනය කෙරුණු පුද්ගලයාගෙන් ඇයට කරදර තිබූ බවත්, එම කාන්තාවගේ ඉල්ලීම පරිදි මරණකරු සමග සුහදත්වයක් ගොඩනඟාගෙන කොස්ලන්ද ප්‍රදේශයේ ගංජා හේනක් සකස් කිරීමට බව පවසා රැගෙන ගොස් කැලය තුළදී කැත්තකින් ගෙල කපා ඝාතනය කළ බවයි.

ඔහුව ඝාතනය කිරීමෙන් පසු ඔළුව කඳින් වෙන්කර වෙනම ස්ථානයක වළදැමූ බවත් සිරුරේ ඉතිරි කොටස ඇළක් ආසන්නයේ දමා ගිය බවත්, තමන් රැගෙන ගිය කැත්ත හා උදැල්ල කැළයේ සඟවා ආ බවත් පාපොච්චාරණය කර තිබේ.

පසුව පොලිසිය අදාළ ස්ථානය සොයා ගැනීමට ගිය අතර එහිදී එම ස්ථානය සොයා ගැනීමට අපහසු වූ නමුත් පොලිස් නිලධාරීන් හා පසුපසින් පැමිණි සුනඛයකු ඝාතනය කර දමා සිටි පුද්ගලයාගේ ශරීරය හා වළ දමා තිබූ ඔළුව කොටස මෙන්ම කැලයේ සඟවා තිබූ කැත්ත හා උදැල්ලද සොයා ගැනීමට උපකාර වී තිබේ.

ඒ අනුව සැකකාර අනියම් බිරිය හා බලහරුව පදිංචි සැකකරු සමග යුතුරුපැදිය හා කැබ් රථය පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් පුද්ගලයන් සම්බන්ධයෙන් මූලික විමර්ශන තණමල්විල පොලිසිය මගින් සිදු කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු හා සැකකාරිය කොස්ලන්ද පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරුණි.

එහිදී කොස්ලන්ද පොලිසිය විසින් සැකකරු හා සැකකාරිය බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් මස 05 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

Leave a Reply

Your email address will not be published.