කෝටි හතේ කොල්ලයේ ඩබල අල්ලයි

සල්ලිත් අරගෙන ඉන්දියාවට පනින්න හිතාගෙන තමයි අපි යාපනේට ගියේ. ඒත් අපේ ප්ලෑන් එකක්වත් හරි ගියේ නැහැ. ඒ නිසයි අපි හැංගිලා ඉන්න තැනක් සොයාගෙන සෙවනගලට ආවේ යැයි මිනුවන්ගොඩ රුපියල් කෝටි 7ක මංකොල්ලයේ ප්‍රධාන සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.

මුදල් ප්‍රවාහනය කරන ආයතනයකින් රුපියල් කෝටි හතහමාරක මුදලක් කොල්ලකාගෙන පලාගිය එම ආයතනයේ රියැදුරු සහ ඔහුගේ සහායකයා විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් ඊයේ (26දා) අලුයම අත්අඩංගුවට ගනු ලැබුවේ ඇඹිලිපිටිය සෙවනගල ප්‍රදේශයේ දේවාලයක සිටියදීය. මොවුන් සතුව තිබී රුපියල් ලක්ෂ 40ක මුදලක් ද සොයාගෙන ඇත.

තමන් පොලිසියෙන් බේරා දෙන ලෙස ඉල්ලමින් මොවුන් එම දේවාලයේ බාරයක් වීම සඳහා ගොස් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මෙම දේවාලය පවත්වාගෙන යන කපු මහතා මෙම සැකකරුවකුගේ සමීප ඥාතියකු බව ද පොලිසිය පවසයි.

මෙම කොල්ලය සිදුකළ බව කියන මුදල් ප්‍රවාහන ආයතනයේ රියැදුරු තුෂාර ඉන්දික සොයිසා සහ ඔහුගේ සහායකයා වූ සමන් රණසිංහ නමැති සැකකරුවන් කොල්ලය සිදුකිරීමෙන් පසු යාපනය ප්‍රදේශයට ගොස් දින කීපයක් තිස්සේ එහි රැඳී සිට ඇත.

මොවුන් දෙදෙනා නාගදීපය වෙත ගොස් පිරිකර 8ක් පූජා කර තමන් පොලිසියෙන් බේරාගෙන ඉන්දියාවට යෑමට අවස්ථාව දෙන මෙන් ඉල්ලා බාර වී ඇති බව ද විමර්ශනවලින් හෙළි වී තිබේ. මොවුන් යාපනයට ගොස් තිබුණේ බෝට්ටුවක නැඟී ඉන්දියාවට පලා යෑමේ අරමුණෙන්ය.

එහෙත් මෙම සැකකරුවන් දෙදෙනාගේ ඡායාරූප මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමගම ඔවුන්ට සැඟවී සිටීම පහසු කටයුත්තක් වී නැත.

බෝට්ටුකරුවකුට මොවුන් රුපියල් ලක්ෂ 25ක මුදලක් ද ලබාදී ඉන්දියාවට පලා යෑමට උත්සාහ කර ඇතත් එය ව්‍යර්ථ වී තිබේ.

ඉන්දියාවට පැනයෑම වැරදී ගිය පසු මොවුන් දෙදෙනා ඇඹිලිපිටියේ පිහිටි සිය ඥාතියකුගේ නිවසට පැමිණ ඇත.

ඇඹිලිපිටිය, සෙවනගල ප්‍රදේශයේ පිහිටි දේවාලයක් පවත්වාගෙන යන ඥාතියාගේ නිවසේ සැඟවී සිටි සැකකරුවන් දෙදෙනා රටින් පැනයෑමට විවිධ සැලසුම් සකස් කරමින් සිට ඇත. ඒ අතර තමන් පොලිසියෙන් බේරා දෙන ලෙස ඉල්ලා දේවාලයේ බාර හාර වී ඇති බව ද විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙම කොල්ලකරුවන් දෙදෙනා ඇඹිලිපිටිය, සෙවනගල ප්‍රදේශයේ සිටින බවට තොරතුරු ලැබීමෙන් පසු ක්‍රියාත්මක වූ ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතා විශේෂ පොලිස් කණ්ඩායමක් එහි පිටත් කර යවා ඇත.

සැකකරුවන් ඉකුත් 18 වැනිදා උදෑසන මිනුවන්ගොඩ නගර මධ්‍යයේදී සැකකාර රියැදුරු විසින් මුදල් බෙදාහරින ආයතනයේ වෑන්රථය ද සමග රුපියල් කෝටි 7 1/2ක මුදලක් කොල්ලකාගෙන පලාගොස් තිබිණි.

පසුව සැකකරු වෑන්රථය මග අතහැර දමා එහි තිබූ රුපියල් කෝටි 7 1/2ක මුදල් සහිත මලු 4ක්ද රැගෙන ඔහුගේ සහායකයා සමග යතුරුපැදියකින් පලා ගියේය.

කොල්ලකන ලද මුදල්වලින් රුපියල් කෝටි 3 1/2ක මුදලක් ප්‍රධාන සැකකරුගේ සමීප මිතුරකු වූ ෆාමසියක හිමිකරුවකුට භාරදී ගොස් තිබිණි.

ගම්පහ කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීන් විසින් මෙම ෆාමසි හිමියා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සඟවාගෙන සිටි රුපියල් කෝටි 3 1/2ක මුදල් ද සොයාගන්නා ලදී.

ප්‍රධාන සැකකරු සහ සහායකයා මුල සිටම උත්සාහ කර ඇත්තේ මුදල් ද රැගෙන ඉන්දියාවට පලා යෑමටය. මොවුන් දෙදෙනා මෝටර් රථයක් ද කුලියට ලබාගෙන යාපනය බලා ගොස් ඇත්තේ ඒ සඳහාය.

කොල්ලකන ලද මුදල්වලින් රුපියල් කෝටියක පමණ මුදලක් මොවුන් දෙදෙනා විසින් වියදම් කර ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත. වාහන කුලියට ගැනීමට සම්බාහන මධ්‍යස්ථානවලට ගොස් කතුන්ගේ පහස ලැබීමට මෙන්ම ඉන්දියාවට පලා යෑම සඳහා ද මොවුන් මුදල් වියදම් කර ඇත.

කොල්ලකන ලද මුදල්වලින් කොටසක් වෙනත් ස්ථානයක සඟවා තැබූ බව ද සැකකරුවන් පවසා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.

බස්නාහිර, උතුර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න, ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වෙයි.

Leave a Reply

Your email address will not be published.