දැවැන්ත දුම්රිය අනතුරු සිදුවීමේ අවදානමක් ගැන දුම්රිය නියාමක සංගමය හෙළිකරයි

හලාවත සිට කොළඹ කොටුව බලා අද (04) පෙරවරුවේ ධාවනය වූ අංක 810 දුම්රිය රාගම දුම්රිය ස්ථානය අසලදී පාලන සංඥා දෝෂයක් නිසා ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පා තිබුණි.

දුම්රිය නියාමක සංගමය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ, සංඥා දෝෂ ඇතිවීම වැළැක්වීමට බලධාරීන් කඩිනම් පියවර නොගතහොත් ඉදිරියේදී දැවැන්ත දුම්රිය අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බවය.

හලාවත සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 810 දරන දුම්රිය රාගම දුම්රිය ස්ථානයට පැමිණීමේදී අංක 98 පාලන සංඥාව දෝෂ සහිත තත්ත්වයක පැවති බව දුම්රිය නියාමක සංගමය සඳහන් කළේය.

එහි ප්‍රධාන නියාමකවරයා පැවසුවේ ඒ හේතුවෙන් දුම්රිය තවදුරටත් ධාවනය නොකර කඩිනමින් අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමට පියවර ගත් බවය.

ප්‍රධාන නියාමක යූ.එච්. ආරියරත්න මහතා, 

“රාගම දුම්රිය ස්ථානයේ ඇතුළත් වීමේ සංඥා අංක 98 පාලන සංඥා දීලා තිබ්බේ. මගේ තිරිංග මැදිරිය පසු කරනවාත් එක්ක ඒ සංඥා නිමෙන්න ඕනේ. ඒත් නිමුනේ නෑ.. මම දුම්රිය නවත්තලා ආයේ පස්සට ගිහින් බලද්දිත් සංඥාව පත්තුවෙලා තිබ්බේ. ඊට පස්සේ රියදුරා දැනුවත් කරලා මම ඡායාරූප ලබාගෙන අදාළ අංශ දැනුවත් කළා. දැන් මේ විදිහට ඉදිරියට ධාවනය කරලා තව දුම්රියක් තිබ්බා නම් විශාල ගැටලුවක් වෙන්න තිබ්බා.”

දුම්රිය නියාමක සංගමයේ ලේකම් කේ.ඩී.ඩී. ප්‍රසාද් මහතා,

“මේ වගේම සිද්ධියක් වෙලා තියෙනවා අලව්වේ සහ ගනේමුල්ලේ දුම්රිය ස්ථානවල. සංඥාවල දෝෂ නිවැරදි කරන්න කටයුතු කරන්නේ නැත්තම් ඉදිරියේදී විශාල අනතුරක් සිදු වෙන්න පුළුවන්.”

මේ අතර ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඉහත සිදුවීම් සිදුවීමට හේතුව, ඒ සඳහා වගකිව යුත්තේ කවුද? හා දුම්රිය ධාවනය සඳහා සංඥා පද්ධතිය කොතරම් දුරට විශ්වසනීය හා ආරක්ෂාකාරී ද යන්න පිළිබඳව විධිමත් සාකච්ඡාවකින් තහවුරු කරන ලෙසය.

“දුම්රිය මගීන් හා දුම්රිය කාර්යමණ්ඩලය මෙම තත්ත්වය හමුවේ ඇති ජීවිත අවදානම හේතුවෙන් සංඥා පද්ධතිය නැවත පරීක්ෂා කොට දුම්රිය විශ්වසනීය හා ආරක්ෂාකාරී ධාවනයට ලබා නොදෙන්නේ නම් දුම්රිය ධාවනයෙන් ඉවත්වන බව කනගාටුවෙන් දන්වා සිටිමු.” යනුවෙන් ද එහි සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published.