ග්‍රෙගරිවැවේ සංචාරක බෝට්ටු සේවාව නියාමනයට සැලසුම්

නුවරඑළිය ග්‍රෙගරිවැවේ සංචාරක බෝට්ටු සේවාව නියාමනයකින් යුතුව පවත්වාගෙන යාමට පියවර ගන්නා බව නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතා පවසයි.

සංචාරකයින් රැගත් බෝට්ටු දෙකක් ඊයේ (19) දිනයේ අනතුරට පත්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

නුවරඑළිය ග්‍රෙගරිවැවේ සංචාරක බෝට්ටු 120ක් පමණ තිබෙන අතර ඊයේ සිදු වූ අනතුරින් පසුව එම බෝට්ටු හිමිකරුවන් සහ පැදිකරුවන් කැඳවා මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන් බව නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.  

ඒ අනුව සංචාරකයන්ට ආරක්ෂිත කබා ලබාදිය යුතු බවත්, වේග සිමාවන් අඩු කර විනයක් සහිතව බෝට්ටු සවාරි රැගෙන යෑම සිදු කරන ලෙසටත් ඔවුන් දැනුවත් කළ බව ඒ මහතා කියා සිටියේය.

ඊයේ (19) පස්වරු 2:30ට පමණ සංචාරකයන් දෙදෙනෙකු රැගෙන ගිය බෝට්ටුවක්, අධික වේගයෙන් පැමිණි තවත් බෝට්ටුවක ගැටී ඇති අතර එහිදී සංචාරකයින් දෙදෙනා ගමන්ගත් බෝට්ටුව ග්‍රෙගරිවැවට පෙරළී ඇත.

කෙසේවෙතත් සෙසු බෝට්ටුකරුවන් විසින් එම සංචාරකයන් දෙදෙනා සහ බෝට්ටුපැදිකරු නිරැපද්‍රිතව බේරාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බෝට්ටුපැදිකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර ඇති අතර පොලිසිය සඳහන් කළේ සැකකරුවන්ට එරෙහිව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවය.

Leave a Reply

Your email address will not be published.