ඉරානය සමඟ සටන් විරාමයක් පැවතීම අවදානම් සහගත තත්ත්වයක පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
යුද්ධය අවසන් කිරීම සඳහා වූ අමෙරිකානු යෝජනාවට ඉරානය ලබාදුන් ප්‍රතිචාරයෙන් පසුව, දෙපාර්ශ්වයම මේ වනවිට කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එකඟතාවය පළ නොකිරීම ඊට හේතු වී ඇත.
සියලුම පෙරමුණුවල යුද්ධය අවසන් කිරීම, යුධ හානි සඳහා වන්දි ලබාදීම, අමෙරිකානු නාවික අවහිර කිරීම් අවසන් කිරීම, නැවත ප්‍රහාර එල්ල නොකරන බවට සහතිකයක් ලබා දීම සහ ඉරාන තෙල් අලෙවිය යළි ආරම්භ කිරීම යන කරුණු ද ඉරානය විසින් ඉල්ලා තිබේ.
ලෝකයේ තෙල් සහ ගෑස් සැපයුමෙන් පහෙන් එකක් ප්‍රවාහනය කරන, දැනට නාවික ගමනාගමනය අත්හිටුවා ඇති හෝමුස් සමුද්‍ර සන්ධියේ ස්වෛරීභාවය පිළිබඳව ඉරානය අවධාරණය කර ඇත.
කෙසේවෙතත් ට්‍රම්ප් පැවසුවේ අප්‍රේල් 7 වැනිදා සිට ක්‍රියාත්මක වන සටන් විරාමයේ ස්ථාවරත්වයට ඉරානයේ මෙම ප්‍රතිචාරය තර්ජනයක් වී ඇති බවය.
එමෙන්ම එක්සත් ජනපදය යෝජනා කර තිබුණේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන වැනි වඩාත් මතභේදාත්මක කරුණු පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට පෙර සටන් නැවැත්විය යුතු බවය.
මේ අතර සාකච්ඡා ඇනහිටීමත් සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා තැබීම හේතුවෙන්, බ්‍රෙන්ට් බොරතෙල් මිල 3%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 104 ඉක්මවා ගියේය.
පෙබරවාරි 28 වැනිදා යුද්ධය ආරම්භ වීමට පෙර, ලෝකයේ තෙල් සහ ද්‍රව ස්වභාවික වායු ප්‍රමාණයෙන් පහෙන් එකක් ප්‍රවාහනය කළේ මෙම පටු මුහුදු මාර්ගය හරහා වන අතර, එතැන් සිට එය ගැටුමේ ප්‍රධාන පීඩන ලක්ෂ්‍යයක් බවට පත්ව ඇත.


