අඩු මානසික තත්ත්වයෙන් පෙළෙන සිය සහෝදරයාව ඝාතනය කර පොලීසියට ගොස් පාපෝච්චාරණය කළ පුද්ගලයෙකු ආරච්චිකට්ටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (22) දහවල් 2.10ට පමණ පිහියක්ද රැගෙන ආරච්චිකට්ටුව පොලීසියට පැමිණ ඇති අයෙකු පවසා ඇත්තේ තමන් විසින් සිය සහෝදරයාව ඝාතනය කළ බවය.
ඒ අනුව ක්‍රියාත්මක වී ඇති පොලීසිය ඔවුන් පදිංචිව සිටි නිවසට ගොස් ඇති අතර එම නිවසේ කාමරයක ඇදක් මත කැපුම් තුවාල සහිතව මියගොස් ඇති සිරුර තිබී පොලීසියට හමුවී ඇත.
ඝාතනයට ලක්ව ඇත්තේ ආරච්චිකට්ටුව – රාජකදළුව පදිංචිව සිටි දුලේන් හසංක නම් අයෙකි.
මියගොස් ඇති අඩු මානසික තත්ත්වයෙන් පෙලෙන සහෝදරයාව දිවා කාලයේ රැක බලා ගෙන ඇත්තේ සැකකරු විසින් බවද පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.


