චෙම්මනි සමූහ මිනිවළෙන් මිනිස් සිරුරු 501කට අදාළ අස්ථි කොටස් ගොඩගනී

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 501කට අදාළ අස්ථි කොටස් ගොඩ ගෙන තිබේ.

ඒ අනුව මෙරට තුළින් මිනිස් සිරුරු 500ක් ඉක්මවා මිනිස් සිරුරු ප්‍රමාණයක අස්ථි කොටස් ගොඩගත් පළමු සමූහ මිනිවළ බවට චෙම්මනි සමූහ මිනිවළ පත්ව ඇති බව යාපනය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ හිටපු ජ්‍යේෂ්ඨ මහාචාර්ය පරමු පුෂ්පරත්නම් මහතා පවසයි.

මහාචාර්යවරයා පැවසූවේ සමූහ මිනිවළක් තුළින් මිනිස් සිරුරු 500ක් ගොඩ ගැනීමේ සිදුවීමක් මින්පෙර මෙරට තුළින් වාර්තා වි නොමැති බවය.

චෙම්මනි සමූහ මිනිවළ හය වන අදියර 46 වන දිනට ඊයේ(07) යාපනය මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකෙරිණි.

සමූහ මිනිවළ කැනීම් තුළින් ඊයේ (07) දිනයේ තවත් මිනිස් සිරුරු අටකට අදාළ අස්ථි කොටස් මතුකරගත් බවත්, මේ දක්වා මිනිස් සිරුරු 507කට අදාළව අස්ථි කොටස් මතුකරගෙන ඇති අතර, එයින් මිනිස් සිරුරු 501කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන ඇති බවත් කැනීම් කටයුතු නිරීක්ෂණය කරන අතුරුදන්වූවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වි.කේ.නිරංජන් මහතා සඳහන් කළේය.

සමූහ මිනිවළ 06 වන අදියර මේ දක්වා කැනීම් තුළින් කුඩා දරුවන්ගේ බවට සැක කරන අස්ථි කොටස් කිහිපයක්, රන් භාණ්ඩයක කොටසක්, කාසි කිහිපයක් ඇතුළු විවිධ ද්‍රව්‍ය 130කට ආසන්න ප්‍රමාණයක් හමුව ඇති නිරංජන් මහතා පැවසීය.

හයවන අදියර තුළින් මේ දක්වා මිනිස් සිරුරු 262කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන ඇති බවද සඳහන්.

චෙම්මනි සමූහ මිනිවළ හයවන අදියර කැනීම් කටයුතු පසුගිය අප්‍රේල් 27 වැනිදා යාපනය මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතාගේ අධීක්ෂණය යටතේ ආරම්භ කෙරිණ.

පස්වන අදියර කැනීම් කටයුතු අවසන් වන විට සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 239කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන තිබිණ.

Leave a Reply

Your email address will not be published.