දිලිත්ගේ පෙත්සම වැඩිදුර විභාගයට 18 වැනිදා කැඳවයි

අධිකරණයට අපහාස කළ බවට කොටුව මහෙස්ත්‍රාත්වරයා තමන් සම්බන්ධයෙන් කර තිබෙන යොමුකිරීම අභියෝගයට ලක්කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් 18 වැනිදා කැඳවන මෙන් අභියාචනාධිකරණය අද (14) නියෝග කළේය.

ඒ අනුව එදිනට මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතය.

සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී අධිකරණයට අපහාසකර ඇත්දැයි සොයාබැලීමට කොටුව මහෙස්ත්‍රාත්වරයා සිදුකළ යොමුකිරීම අද දෙවැනි දිනටත් අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර දිලිත් ජයවීර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා, තම සේවාදායකයාගේ නිර්දෝෂීභාවය තහවුරු කිරීමට ප්‍රශ්නගත සම්මුඛ සාකච්ඡාව විවෘත අධිකරණයේ දර්ශනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසාදෙන මෙන් ඉල්ලා සිටියේය.

එහිදී එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේ අදාළ වීඩියෝ පටය අධිකරණය ඉදිරියේ දර්ශනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසාදෙන ලෙසටය.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සැප්තැම්බර් 18 වැනිදා කැඳවීමට නියෝග කෙරුණි.

Leave a Reply

Your email address will not be published.