වසරේ ගතවූ කාලය තුළ විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සම්බන්ධව වැටලීම් 1,000 ඉක්මවයි

මෙම වසර තුළ විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සම්බන්ධයෙන් වැටලීම් 1,000කට අධික ප්‍රමාණයක් සිදුකර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම අධිකාරිය පැවසුවේ මෙම වැටලීම් තුළින් වෙළෙඳපොළේ නීතිමය අනුකූලතාව, භාණ්ඩවල ආරක්ෂාව සහ සැපයුම් මූලාශ්‍ර හඳුනා ගැනීම සම්බන්ධයෙන් අවධානයක් යොමු කර ඇති බවය.

මේ අතර එම අධිකාරිය පැවසුවේ පාරිභෝගිකයින්ට ආරක්ෂිත ප්‍රමිතියෙන් සහ නීතියට අනුකූල විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වෙළෙඳපොළක් තහවුරු කිරීමේ අරමුණින් දිවයින පුරා විශේෂ වැටලීමක්ද ක්‍රියාත්මක කර ඇති බවය.

ඒ අනුව මෙහි ප්‍රධාන විශේෂ වැටලීමක් පසුගිය අගොස්තු මස 25 වැනි දින ආරම්භ කර තිබේ.

මෙම විශේෂ වැටලීම් වැඩසටහන යටතේ පමණක් වෙළෙඳ ආයතන සම්බන්ධයෙන් වැටලීම් 204ක් සිදුකර ඇති අතර එම වැටලීම්වලදී භාණ්ඩ 1,150කට අධික ප්‍රමාණයක් නඩු භාණ්ඩ ලෙස නිලධාරීන් භාරයට ලබා ගෙන ඇත.

මෙම විශේෂ වැටලීම්වලදී නිසි බිල්පත්, රිසිට්පත් හා ඉන්වොයිස් පවත්වාගෙන නොයෑම, භාණ්ඩයේ සැපයුම් මූලාශ්‍රය තහවුරු කිරීමට නොහැකි වීම, නියමිත ලේබල් හා භාණ්ඩ ප්‍රමිතිවලට අනුකූල නොවන ප්ලග්, බහු සොකට්, දිගු විදුලි රැහැන් සහ අනෙකුත් විදුලි භාණ්ඩ අලෙවි කිරීම මෙන්ම වෙනත් අදාළ නීතිමය අවශ්‍යතා උල්ලංඝනය කිරීම් පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කර තිබේ.

විශේෂයෙන්ම, අදාළ විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සඳහා අවම වශයෙන් මාස 06ක වගකීමක් ලබාදීම සහ ඒ සඳහා නිසි වගකීම් සහතිකයක් පාරිභෝගිකයාට ලබාදීම පිළිබඳවද දැඩි අවධානය යොමු කළ බවද එම අධිකාරිය සඳහන් කළේය.

පාරිභෝගිකයෙකු භාණ්ඩයක් මිලදී ගන්නා විට වාචිකව වගකීමක් ඇත යනුවෙන් පැවසීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, අදාළ වගකීම් කාලසීමාව, කොන්දේසි සහ වගකිවයුතු පාර්ශ්වය හඳුනාගත හැකි පරිදි ලිඛිත වගකීම් සහතිකයක් ලබාගැනීම වැදගත් වන බවද එම අධිකාරිය සඳහන් කළේය.

වැටලීම්වලදී දිගු විදුලි රැහැන්, බහු සොකට්, ප්ලග් මුදුන්, ස්විච් සොකට්, විදුලි රැහැන්, එල්.ඊ.ඩී. බල්බ, ආරෝපක, විදුලි අනුකූලක, අත් විදුලි පන්දම්, විදුලි තරාදි, විදුලි කේතල්, විදුලි ඉස්ත්‍රික්ක, විදුලි මෙවලම් සහ අනෙකුත් විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ රැසක් සම්බන්ධයෙන් නීති උල්ලංඝනයන් හඳුනාගෙන ගැනීමටද එම අධිකාරිය සමත්ව තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව ලැබෙන සාක්ෂි අනුව අදාළ වරදට වගකිව යුතු වෙළෙන්දාට පමණක් නොව වරදට සම්බන්ධ සැපයුම්කරුවන්, බෙදා හරින්නන්, ආනයනකරුවන් හෝ නිෂ්පාදකයින්ටද අදාළ නීති යටතේ අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බවය.

Leave a Reply

Your email address will not be published.