අයාලේ යන ගවයන් පාලනයට මඩකලපුවේ දැඩි පියවර

මඩකලපුව මහ නගර සභා බලප්‍රදේශය තුළ දිනෙන් දින ඉහළ යන අයාලේ යන ගවයන් පාලනය කිරීම සඳහා මඩකලපුව නගරාධිපති සිවම් පාක්‍යනාදන් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. 

කල්මුණේ – මඩකලපුව සහ පොළොන්නරුව – මඩකලපුව යන ප්‍රධාන මාර්ගයන්හි අයාලේ යන ගවයන් හේතුවෙන්ද රිය අනතුරු බහුලව සිදුවන බව අනාවරණය වී තිබේ.

මෙලෙස සිදුවන රිය අනතුරුවලින් පුද්ගලයන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පිරිසක් බරපතළ තුවාල ලබා තිබේ. ඊට අමතරව වාහන රැසකට ද දැඩි අලාභහානි සිදු වී ඇත.

මෙම තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් ආරම්භ කළ වැඩසටහන යටතේ පසුගිය සතිය තුළ පමණක් අයාලේ ගිය ගවයන් 150 දෙනෙකු අල්ලා ගැනීමට සමත්ව ඇත.

අල්ලා ගනු ලබන ගවයන්ගේ හිමිකරුවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට පියවර ගෙන ඇති අතර, එක් ගවයෙකු නිදහස් කරගැනීම සඳහා රුපියල් 10,000ක දඩ මුදලක් අය කිරීමට නියමිතය.

එමෙන්ම ගවයන් භාර ගැනීමට ප්‍රමාද වන සෑම අමතර දිනයක් සඳහාම රුපියල් 1,000 බැගින් වූ ගාස්තුවක් ද එක්වේ.

යම් ගවයෙකු දෙවන වරටත් අයාලේ යමින් සිටියදී අල්ලා ගනු ලැබුවහොත්, එම ගවයා අධිකරණ නියෝග හරහා වෙන්දේසි කිරීමට කටයුතු සූදානම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *