හෙට දිනයේ වැඩවර්ජනයට එක්වනවාද? -ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ තීරණය අද

හෙට (30) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත දීප ව්‍යාප්ත වැඩවර්ජනයට සහාය ලබාදීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (29) දිනයේ ප්‍රකාශයට පත් කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව, මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය ලබාදෙන්නේ ද නැද්ද යන්න අද උදෑසන පැවැත්වෙන සාකච්ඡාවේදී තීරණය කරන බව එම සංගමය සඳහන් කළේය.

එමෙන්ම එම සංගමය වැඩිදුරටත් පවසන්නේ මේ වන විට ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යාමේදී අභියෝග රැසකට මුහුණදීමට සිදුව ඇති බවය.

විශේෂයෙන්ම, ඉන්ධන බෙදාහැරීමේ ආයතන දෙකක් විසින් බෙදුම්කරුවන්ට ලබාදුන් වට්ටම් ප්‍රතිශත අසාධාරණ ලෙස අඩු කිරීම, අනීතික ලෙස වැට් බදු අය කිරීම, පෞද්ගලික සමාගම්වලට අයත් ඉන්ධන පිරවුම්හල් සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග ලබා නොදීම මෙන්ම ඔවුන්ගේ ගැටලු විසඳීම සඳහා රජය සහ කළමනාකාරීත්වය මැදිහත් නොවීම හේතුවෙන් මෙම අභියෝගාත්මක තත්ත්වය උද්ගත වී ඇති බව සඳහන් වේ.

මෙම පසුබිම තුළ හෙට දිනයේ විවිධ වෘත්තීන් නියෝජනය කරන වෘත්තීය සමිති විසින් දිවයින පුරා කැඳවා ඇති වැඩවර්ජනයට සහාය ලබාදිය යුතු බවට ඉන්ධන බෙදුම්කරුවන්ගෙන් සිය සංගමය වෙත ඉල්ලීම් ලැබෙමින් පවතින බව ද ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව, එම සංගමයේ විධායක සභාව ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද පැවැත්වෙන සාකච්ඡාවේදී මේ පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *