ශ්‍රීලනිපයට 71යි

1951 වසරේ සැප්තැම්බර් 02 වැනිදා බිහිවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොබැඳි පිළිවෙත හා නිෂ්පාදන ආර්ථික ක්‍රමය තම පදනම කර ගනිමින් මෙරට බිහි වූ එකම දේශපාලන පක්ෂය යැයි හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. එක්සත් ජාතික පක්ෂ රජයේ තමා දැරූ පළාත් පාලන හා සෞඛ්‍ය ඇමැති ධුරයෙන් මෙන්ම සභානායක ධුරයෙන් ද ඉවත්ව විරුද්ධ පක්ෂයට එක්වූ බණ්ඩාරනායක ශ්‍රීමතාණන් විසින් ශක්තිමත් අඩිතාලමක් මත මෙම පක්ෂය බිහි කරනු ලැබුවේ එවකට පැවැති අන්ත ධනවාදී හා වාමාංශික කඳවුරු දෙකටම අයත් නොවූ දේශපාලන මැද පිළිවෙතේ ගමන් කරන පක්ෂයක අවශ්‍යතාවය ජනතාව අපේක්ෂා කළ බැවිනි. පක්ෂය පිහිටුවා මාස 08ක් වැනි සුළු කාලයක් තුළ මුහුණ දුන් පළමු පාර්ලිමේන්තු මැතිවරණයේදීම ආසන 09ක් ජයග්‍රහණය කරලීමට සමත් වූ මෙතුමා, 1956දී බිහි කළ ප්‍රගතශීලි සන්ධානය තුළින් බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය ආසන 08කට සීමා කරලීමට ද සමත් විය.මෙම සුවිශේෂී ජයග්‍රහණය හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විසින් හඳුන්වනු ලැබූයේ ‘බමුණු කුලයේ බිඳ වැටීම’ යනුවෙනි.

සැබවින්ම පොදු ජනතාව අපේක්ෂා කළ නව පාලන යුගයක් උදා විය. එම පාලන තන්ත්‍රය තුළ රටේ ජනතාවගේ සියලුම ආගම්වලට ඇති ගරුත්වය, අනන්‍යතාවය හා ආරක්ෂාව දෙමින් බුද්ධාගමට ලැබිය යුතු නිසි තැන දීමත්, අන්‍ භාෂාවන්ට හිමි විය යුතු නිසි තැන දෙමින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කරලීමත් සුවිශේෂී කාරණයකි. ප්‍රවාහන සේවය හා වරාය ජන සතු කිරීම, කුඹුරු පනත හා අඳ ගොවි ආධිපත්‍ය ආරක්ෂා කර දීම සහ නිදහස් අධ්‍යාපනයේ සියලු වරප්‍රසාදයන් නොඅඩුවම දැයේ දරුවන්ට දීමට ද 56 ජයග්‍රහණය තුළින් උදා වූ ජනතාවාදී ක්‍රියාදාමයන් අතර ප්‍රමුඛත්වයෙහිලා සැලකිය හැකිය. බණ්ඩාරනායක මහතාට එල්ල කළ වෙඩි උණ්ඩය හුදෙක් තනි පුද්ගලයකු විනාශ කරන්නට ගත් තීරණයක් නොව, එය මේ රටේ ධනපති පන්තිය ප්‍රගතිශීලි ජනතා බලවේග විනාශ කරන්නට ගත් සාහසික පියවරක් ලෙස හැඳින්විය හැකිය.

එතුමාගේ අභාවයත් සමඟ ශ්‍රී ලංකාවේ පමණක් නොව, සමස්ත ලෝකයේම පළමු අගමැතිවරිය ලෙස පත් වෙමින් මැතිනිය ගත් එඩිතර මෙන්ම කාලෝචිත ක්‍රියාමාර්ග තුළින් මෙරට ප්‍රගතශීලි ජනතාවට උරුම කර දුන් සහනයන් අසීමිතය. පෞද්ගලික අංශය සතු වූ ඛනිජ තෙල් ව්‍යාපාරය රජයේ පූර්ණ පාලනයට යටත් කරලීම, ආධාර ලැබූ පාසල් රජයට පවරා ගැනීම, මහජන බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පිහිටුවීම, මිත්‍ර රටවල්වල ආධාර ඇතුව කර්මාන්තශාලා රැසක් ස්ථාපිත කරලීමට පියවර ගැනීම ද මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත. 1965දී ශ්‍රීලනිපය පරාජයට පත් වුවද 1970දී සමඟි පෙරමුණ ලෙස ලැබූ සුවිශේෂී ජනතා ජයග්‍රහණය තුළින් ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කරලීමට හැකි වීම, ඉඩම් සීමා පනත, ගෙවල් කුලී පනත වැනි ප්‍රගතශීලී පියවර තුළින් අප මාතෘ භූමියට හිමි වූ ප්‍රතිලාභයන් සුවිශේෂී වේ.

අද අපගේ ආදරණීය මාතෘ භූමිය ඉතිහාසයේ කිසිදා මුහුණ නොදුන් දරුණුතම ආර්ථික බිඳවැටීමකට හා ජාත්‍යන්තර දේශපාලන අර්බුදයකට මුහුණ පා සිටියි. මෙම මුහුණ දී ඇති කනගාටුදායක තත්ත්වයෙන් අත්මිදෙන්නට නම් නිවැරදි ප්‍රතිපත්ති රාමුවක්, විනිවිද පෙනෙන පාලන තන්ත්‍රයක් හා පුළුල් ජනතා එකඟතාවයක් වහ වහා ගොඩනඟා ගත යුතු බව අපගේ විශ්වාසයයි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය ඉදිරිපත් කළ සමස්ත යෝජනාවලිය වෙනුවෙන් සර්ව පාක්ෂික රජය යන මූලික තේමාව තමන්ට අවශ්‍ය ආකාරයට හිටපු මෙන්ම වත්මන් රාජ්‍ය නායකයන් දෙදෙනා ප්‍රමුඛ පාලන තන්ත්‍රයන් භාවිත කිරීම මෙම අර්බුදය වඩා නරක හා සංකීර්ණ තත්ත්වයට පත් කර ඇත. අද ජනතාව වෙතට දැඩි මර්දන නීති මුදාහරිමින්, ඒකාධිපති පාලනයක් ගෙන යන්නට දරන උත්සාහයන් හා ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ ශ්‍රීලනිපය කිසි විටෙකත් අනුමත නොකරනු ඇත.

පක්ෂයේ 71 වැනි සංවත්සරය පවත්වන අපගේ ප්‍රධාන අපේක්ෂාව වන්නේ සමස්ත ලෝකය ඉදිරියේ අභිමානයෙන් යුතුව අපගේ මාතෘභූමියේ නම ප්‍රකාශ කිරීමට පැවැති හැකියාව නැවත කඩිනමින් අපගේ ආදරණීය මාතෘ භූමියට දිනා දීමය.

ෂාන් විජයලාල් ද සිල්වා
(ශ්‍රීලනිප උපසභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී) 

Leave a Reply

Your email address will not be published.