සාමකාමීව අරගලයට එක් වන්න – හරිනි

ගෝල්ෆේස් අරගලකරුවන් පවත්වන විරෝධතාවට අපේ පූර්ණ සහයෝගය පළ කරන අතර රටේ විවිධ ප්‍රදේශවලින් විවිධ ක්ෂේත්‍රවලින් එයට සහභාගි වෙන්න සූදානම් වෙන ජනතාවට අපි විශේෂ කරුණක් අවධාරණය කරනවා. ආණ්ඩුවේ නොහැකියාව, හැඟීම් නැතිකම, ජනතාව තේරුම් ගැනීමට අපොහොසත් වීම තුළ ඔවුන් දන්නේ මර්දනය කිරීමේ ක්‍රමය විතරයි. ඒ නිසා අතිශයින් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ සාමකාමීව මේ අරගලය දියත් කිරීම අනිවාර්යය දෙයක් බව ජාතික ජන බලවේගයේ පා.ම. හරිණි අමරසුරිය පවසනවා.

ආණ්ඩුවේ නායකයන්ගේ දේශපාලන භාවිතය, දේශපාලන සංස්කෘතිය තුළ මේ තත්වයන් තේරුම් ගන්න ඔවුන්ට බැහැ. ඒ නිසා සුපුරුදු පරිදි ඔවුන්ගේ මර්දනය දියත් කර තිබෙනවා. අරගලකරුවන් හැටියට ඊට ප්‍රතිචාර දැක්විය යුත්තේ කොහොමද කියලා කල්පනා කරන්න ඕනෑ. සමාජ මාධ්‍ය පුළුල් ලෙස පාවිච්චි කරමින් වපුරන බොරු, බොරු හැටියට ජනතාව තේරුම් ගන්න ඕනෑ. අරගලයට නායකත්වය දෙන ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය ඉලක්ක කොට ගනිමින් ඔවුන් පිළිබඳව සමාජය තුළ බියක් සැකයක් නිර්මාණය කරන්න විවිධ ක්‍රම යොදනවා. පසුගිය කාලය තුළ ලද අත්දැකීම් අනුව ජනතාව ඉතාමත් ශක්තිමත් වෙමින් අවබෝධයෙන් යුතුව දේශපාලන කටයුතු තේරුම් ගනිමින් සිටින බව ඇය පවසනවා.

ඒ තුළ පවා විශේෂයෙන් අවධාරණය කරන්නේ මේ කාලය තුළ ලැබෙන තොරතුරු පිළිබඳව නිවැරදි විනිශ්චයක් කිරීමේ හැකියාව ගොඩනඟා ගන්නා ලෙසයි. ඒ අවබෝධයෙන් යුතුව ප්‍රචණ්ඩත්වයට යොමුවන ගල් කැටයක් වත් නොගන්නා ලෙස නැවත නැවත අවධාරණය කරනවා. දැන් පැවැත්වෙන අරගලයට වගේම මේ ආණ්ඩුව පළවා හැරීමෙන් පසු ක්‍රියාත්මක කරන පුළුල් වැඩපිළිවෙළටත් අපි සැලසුම් සහගත නායකත්වයක් නිවැරදිව ලබාදෙන බව ඇය අවධාරණය කරනවා.

Leave a Reply

Your email address will not be published.