මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනයට අදාළව මහජනතාව සහ විවිධ ආයතන හා සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද අදහස් හා යෝජනා පිළිබඳ විද්වත් කමිටු වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත භාර දී තිබේ.
ඒ, මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනය කර ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සහ ඊට අදාළ යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මහජනතාව විසින් ඉදිරිපත් කරන ලද අදහස් හා යෝජනා සමාලෝචනය කිරීම සඳහා එම විශේෂ කාරක සභාව විසින් පත් කරන ලද විද්වත් කමිටුව අදාළ වාර්තාව කාරක සභාවේ සභාපති, රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබේරත්න මහතා වෙත භාර දී ඇත.
මැතිවරණ ප්රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජනතාව සහ විවිධ ආයතන හා සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද යෝජනා 31ක් මෙන්ම මීට පෙර මැතිවරණ සම්බන්ධයෙන් පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවල වාර්තා ද ගැඹුරින් සමාලෝචනය කර අදාළ වාර්තාව සකස් කිරීම සඳහා මෙම විද්වත් කමිටුව පත් කර තිබේ.
එම විද්වත් කමිටුවේ සාමාජිකයන් ලෙස වැටුප් හා විශ්රාම වැටුප් කොමිෂන් සභාවේ සභාපති අශෝක පීරිස්, සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති සමන් ශ්රී රත්නායක, කැලණිය විශ්වවිද්යාලයේ සමාජ විද්යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය චමින්ද අබේසිංහ, සීමා නිර්ණය කොමිෂන් සභාවේ සාමාජික ආචාර්ය කේ. තවලිංගම් සහ උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් යන මහත්ම මහත්මීහු කටයුතු කරති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශේෂ කාරක සභාවේ සභාපති අමාත්ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබේරත්න මහතා සඳහන් කළේ, යෝජනා ඉදිරිපත් කළ ආයතන හා සංවිධාන විසින් මතු කරන ලද විවිධ කරුණු සහ තේමා සම්බන්ධයෙන් වෙන වෙනම වාර්තා සකස් කර කාරක සභාව වෙත භාර දී ඇති බවයි.
මේ වනවිට ලියාපදිංචි දේශපාලන පක්ෂ කිහිපයක් ද මැතිවරණ නීති සමාලෝචනය සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව, මහජනතාව, විවිධ ආයතන හා සංවිධාන සහ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කර ඇති සියලු අදහස් හා යෝජනා සමාලෝචනය කිරීමෙන් අනතුරුව මාස දෙකක් ඇතුළත අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විශේෂ කාරක සභාව අපේක්ෂා කරන බව ද සභාපතිවරයා පැවසීය.
එම අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ද රටේ පුරවැසියන්ට සහ මහජනතාවට සිය සංශෝධන හා නව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා දීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනය කිරීම පිළිබඳ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට ලියාපදිංචි දේශපාලන පක්ෂ වෙත ලබා දී තිබූ කාලසීමාව තවත් සති දෙකකින් දීර්ඝ කිරීමට ද විශේෂ කාරක සභාව තීරණය කර තිබේ.
එමෙන්ම, මහජන අදහස් හා යෝජනා සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද විද්වත් කමිටුවේ සාමාජිකයන්ට අවශ්ය නම් සිය පෞද්ගලික යෝජනා ද ඉදිරිපත් කළ හැකි බව කාරක සභාව අවධාරණය කර ඇත.
මෙම විශේෂ කාරක සභා රැස්වීමෙන් අනතුරුව එහිදී ගනු ලැබූ තීරණ පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සඳහා කාරක සභාවේ සභාපතිවරයා සහ සාමාජිකයන්ගේ ප්රධානත්වයෙන් මාධ්ය හමුවක් ද පවත්වා තිබේ.
මෙම කාරක සභා රැස්වීමට එහි සාමාජිකයන් වන අමාත්ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා, නියෝජ්ය අමාත්යවරුන් වන නීතිඥ සුනිල් වටගල සහ මුනීර් මුලාෆර් යන මහත්වරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන රවි කරුණානායක, හර්ෂණ රාජකරුණා, ජේ.සී. අලවතුවල, කදිරවේලු ෂන්මුගම් කුගදාසන්, රුවන්තිලක ජයකොඩි, චන්දිම හෙට්ටිආරච්චි සහ නීතිඥ තුෂාරි ජයසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
කෙසේ වෙතත්, මෙම නීති සමාලෝචනයට පළාත් සභා ඡන්ද විමසීම් සම්බන්ධ නීති ඇතුළත් නොවන බව ද සඳහන් වේ.


