දුම්රිය ධාවනය අද සාමාන්‍ය පරිදි – බස් ධාවනය අඩු වන ලකුණු


දුම්රිය ධාවනය අද දිනයේදී සාමාන්‍ය කාලසටහනට අනුව සිදු වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා. 

පෙර දිනවල පැවති ආකාරයෙන්ම අද උදෑසන කාලයේ බස් ධාවනය සිදු වන බවයි ලංකා ගමනා ගමන මණ්ඩලය සදහන් කළේ. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන, පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ඉදිරි ධාවන කටයුතු සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි. 

මේ අතර අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර පැවසුවේ අද දිනයේ දුර ගමන් සේවා පුද්ගලික බස්රථ ධාවනය අවම මට්ටමින් සිදු වන බවයි. 

ඊයේ දිනයේ සිය බස් රථවලට ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අද දිනයේ ධාවනය කෙරෙන්නේ සියයට දහයක පමණ බස්රථ ප්‍රමාණයක් බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා. 

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ බස් ගාස්තු ඉහල දැමීම සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සමඟ අද දිනයේ සාකච්ඡා කරන බවයි.  

කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහලයාම හමුවේ බස් ගාස්තු සියයට 35කින් හෝ 40කින් ඉහල දැමිය යුතු බවයි සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සදහන් කළේ. එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවසුවේ ඒ අනුව අවම බස් ගාස්තුව 40 දක්වා ඉහල දැමිය යුතු බවයි.
 

Leave a Reply

Your email address will not be published.