“මේක නෙවෙයි ජීවිතේ, ජීවිතය වෙනුවෙන් සටන් කරන්න” – එරංග

ඇප ලැබීමෙන් පසුව මා ඇතුළු හතරදෙනෙක් නැවත අරගල භූමිය එක්ක සක්‍රීයව එක්වුණා. අපිව අත්අඩංගුවට ගත්තේ ගෝඨා ඇතුළු ආණ්ඩුව ගෙදර යවන්න දියත්කර තිබුණු අරගලය මර්දනය කරන්නයි. අරගලය මර්දනයට එරෙහිව වැඩ කළ රට පුරා විශාල පිරිසක් අත්අඩංගුවට ගනු ලැබ සිටිනවා. අපිව අත්අඩංගුවට ගත් මොහොතේ බන්ධනාගාර නිලධාරින් සහ සැකකරුවන් අපි සියලු දෙනාට දැක්වූ ආදරය සහ සහෝදරත්වය නිසා අපි තව තවත් ශක්තිමත් වුණා යැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

වැඩි දුරටත් අදහස් දැක්වු ඒ මහතා,

අප අත්අඩංගුවට ගත්තේ මැයි 09වැනිදා පොලිස් මූලස්ථානය වටකිරීමට අදාළ ක්‍රියාමාර්ග නිසයි. අපි එවැන්නක් කළේ ඒ වන විට මාසයකට වඩා වැඩි කාලයක් ලංකාව පුරාම පැනනැගී තිබුණු අරගලයක් මහින්දලාගේ මැර දේශපාලනය යොදවා මර්දනයට ලක්කළ නිසයි. සාමකාමීව ගෙනගිය අරගලය මර්දනය කළාට පස්සේ මහින්දලා කියන්නේ දෙවිවරු යැයි සිතාගෙන සිටි බොහෝ දෙනෙක් පිළිබඳව ඇත්ත තත්වය රටම තේරුම් ගත්තා. මහින්දලාගේ මැර දේශපාලනයට විරුද්ධ වූ සුවහසක්දෙනා පාරට බැස්සා. එය තේරුම් ගන්නවා වෙනුවට රාජපක්ෂලා එක්ක ඩීල් දැමූ රනිල්ලා, රාජ්‍ය මර්දනය යොදවා ලංකාව පුරාම තුන්දහසක පමණ පිරිසක් අත්අඩංගුවට ගත්තා. මැයි 09 වැනිදා සිදුවීමෙන් පසුව ජූනි 09වැනිදා දක්වා මාසයක් පුරා මැර මහින්ද, මැර ජොන්ස්ටන් අත්අඩංගුවට ගත්තේ නැහැ. ඒ වෙනුවට අරගලයට ආදරය කළ පිරිස රට පුරා අනීතිකව අත්අඩංගුවට ගත්තා. ඊට එරෙහිවයි අපි සියලු දෙනා එකතු වෙලා පොලිස්පතිව හමුවෙන්න ගියේ. මහජනතාව නියෝජනය කරනවා වෙනුවට මැර මහින්දලා, ජොන්ස්ටන්ලා නියෝජනය කිරීම වැරදියි කියන්නයි අපි පොලිස්පති හමුවෙන්න ගියේ.

මැරකම්වලට අනුබල දුන්න දේශබන්දු තෙන්නකෝන්ලාත් දේශපාලනඥයන් සමග නීතිය ඉදිරියට නොගත් නිසයි අපිට පොලිස්පතිව හමුවෙන්න සිදුවුණේ. ලහිරු, රැට්ටා, ජිනරතන හිමි, අමල් ඇතුළු තුන්සිය ගණනක් තවමත් අනීතිකව අත්අඩංගුවේ තබාගෙන ඉන්නවා.

සමාජවාදී තරුණ සංගමය විදිහට දෙවැනිදා සිට නැවත වටයකින් අපි මේ සටන රට පුරා ආරම්භ කරනවා. අපේ ජීවිත කාලය ඇතුලේදී නව පන්නයේ අරගලයකට පණපොවමින් තිබෙනවා. මේ පණපොවමින් තිබෙන්නේ නව නිදහස් ජාතික අරගලයකටයි. ගෝඨා, රනිල් එලවන වසර 74ක ශාපලත් පාලනයට තිත තබන්න ඕනෑ. “මේක නෙවෙයි ජීවිතේ, ජීවිතය වෙනුවෙන් සටන් කරන්න” කියන අරගලය අපි පටන් ගන්නවා. තරුණයන් විතරක් නොවෙයි සමස්ත මහජන අරගලයක් දක්වා මේ සටන ගෙන යන්න ඕනෑ. දෙවෙනිදා අනුරාධපුර සහ ගම්පහ දිස්ත්‍රික්කයේත් තුන්වැනිදා පොළොන්නරුවේත් අටවැනිදා බදුල්ලේත් නව වැනිදා පුත්තලමේත් දහවැනිදා කෑගල්ලේත් අපි මේ සටන  ආරම්භ කරනවා. කළු ජූලිය ඇති කළ මාසයේ නව නිදහස් සටනක් මේ රටේ මහජනතාවත් එක්ක ජයග්‍රහණය දක්වා යන ජූලියක් බවට පත්කර ගන්න අපි මැදිහත් වෙනවා. හුරුවීම වෙනුවට වීදි සටන තෝරාගමු කියලා සමස්ත ජනතාවට අපි ආරාධනා කරනවා යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published.