එල්පීඑල් මහා ක්‍රිකට් සැණකෙළියේ ක්‍රීඩක කෙටුම්පත් සැකසීම අද

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 තරගාවලිය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම වන ක්‍රීඩක කෙටුම්පත් (Player draft) කිරීම අද සිදුවෙයි. දෙස් – විදෙස් ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂතම ක්‍රීඩකයන් ඇතුළත්ව ක්‍රීඩකයන් 353 කට ආසන්න සංඛ්‍යාවක් ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රීඩක ලැයිස්තුවේ සිටිති.

මෙවර සංවිධාන වන්නේ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 තරගාවලියේ තුන්වැනි ක්‍රීඩා අදියර වන අතර, එය මේ මස 31 වැනිදා සිට ආරම්භ කිරීමට‍ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කොට ඇත.

අද සවස 5 ට සකස් කරන ක්‍රීඩක කෙටුම්පත සඳහා විදේශීය ක්‍රීඩකයන් 180ක් සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 173ක් (පළමු පෙළ, අන්තර්ජාතික සහ හිටපු ක්‍රීඩකයන්) ඉදිරිපත් වේ. 23න් පහළ ක්‍රීඩකයන් 2ක් ඇතුළත් කිරීම අනිවාර්ය වන අතර, විදේශීය ක්‍රීඩකයන් 6ක් හා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 14ක් කණ්ඩායමක සංචිතය වේ.

මේ අතර පිට පිටම දෙවැනි වරටත් ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලියේ ශූරතාව දිනාගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ඉවත්වීමට අවසර ඉල්ලා ඇති බව වාර්තා වේ. ඔහු මෙවර තරගාවලියේ කැන්ඩි වොරියර්ස් පිල සමඟින් එක්වීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ ඉල්ලීම සලකා බැලූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වනිඳු හසරංගගේ තීරණයට එකඟතාව පළකොට ඇතැයි ද වාර්තා වේ.

අයිපීඑල් මෙගා වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 10 යි ලක්ෂ 75 කට අලෙවි වූ 24 හැවිරිදි වනිඳු හසරංග නිමාවූ එම තරගාවලියේදී කොල්කටා නයිට් රයිඩර්ස් පිලට ක්‍රීඩා කොට දස්කම් දැක්විය. එහිදී දෙවැනි වැඩිම කඩුලු දවාගත් ක්‍රීඩකයා වෙමින් තරගාවලියේ හොඳම ක්‍රීඩකයන් දසදෙනා අතර 8 වැනි ස්ථානයේ පසුවිය.

මෙයට මාස කිහිපයකට පෙර අයිසීසී විස්සයි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල අංක 1 සිටි ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග මේ වන විට 6වැනි ස්ථානයට පත්ව සිටී.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු හා දෙවැනි අදියරවලදී තරගාවලි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ රවීන් වික්‍රමරත්න මහතා වෙනුවට මෙවර නව තරගාවලි අධ්‍යක්ෂවරයා ලෙස සමන්ත දොඩන්වෙල මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති පසුබිමක මෙවර තරගාවලිය පැවැත්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයකු වන දොඩන්වෙල මහතා ක්‍රිකට් ආයතනයේ තරගාවලි අධ්‍යක්ෂවරයා ද වේ.

හිටපු පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වන සමන්ත දොඩන්වෙල මහතා වසර 1991 සිට 1997 දක්වා කාලය තුළ එස්එස්සී ක්‍රීඩා සමාජය නියෝජනය කළ අතර, ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමටද ක්‍රීඩා කර තිබේ.

Leave a Reply

Your email address will not be published.