පාතාලයන්ගේ කුලී ඝාතකයා ඇල්පිටියේ ජෝසා ගැන හෙළිදරව්වක්

ඊයේ අලුයම පොලීසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට පත්වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ඉහලවිතානගේ ජෝෂප් නොහොත් ඇල්පිටියේ ජොසා නමැති පුද්ගලයාගේ තවත් තොරතුරු රැසක් මේ වනවිට හෙළිදරව් වී තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ මියගිය සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු නොහොත් බුම්මා යන අය සමඟ ද එක්ව අපරාධ සිදුකර ඇති බවය.

මෙම අපරාධකරුව යුද හමුදාවෙන් නෙරපා ඇත්තේ හමුදා සේවයේ නිරතව සිටියදී මංකොල්ලකෑම් සහ අපරාධවලට සම්බන්ධ වී හසුවී තිබීම නිසාය. අනතුරුව පාතාලයට එක්වුණු ඔහු කොස්ගොඩ සුජී, සමයං, මාකදුරේ මධුෂ්, අංගොඩ ලොක්කා, කරන්දෙණියේ සුද්දා වැනි පාතාල අපරාධකරුවන් සමඟ එක්ව සිට මේ වන විට මාකිලන්ගමුවේ සංජීවගේ ගෝලයෙක් ලෙස කටයුතු කර ඇති බව සඳහන්ය.

වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී ගැබිණි මවකට 2017 වසරේදී එල්ලවූ වෙඩි තැබීමට ද ජොසා සම්බන්ධ බවද එකල කියැවිණි. සමයංගේ බිරිය යැයි වරදවා වටහාගෙන එම ගැබිණියට වෙඩි තබා තිබුණේ අංගොඩ ලොක්කාගේ කොන්ත්‍රාත්තුවකට අනුවය.

මියගිය ජෝසා නමැති සැකකරුට එරෙහිව 2004,2010,2016,2018 සහ 2019 යන වර්ෂවලදී සිදුකර ඇති අපරාධ සම්බන්ධයෙන් ගාල්ල, මතුගම, බලපිටිය, ඇල්පිටිය, කළුතර සහ පානදුර යන අධිකරණවල නඩු පවරා තිබී ඇති බවද හෙළිවී තිබේ.

මනුෂ්‍ය ඝාතන සිදුකිරීම හා තැත්කිරීම, හෙරොයින් ළඟ තබාගැනීම, ගිනි අවි පෙන්වා මුදල් හා දේපළ කොල්ලකෑම, ගිනි අවි සන්තකයේ තබාගැනීම  ගාල්ල බන්ධනාගාරය තුළදී ගිනි තබා දේපළවලට අනර්ථය සිදුකිරීම සැකකරුට එරෙහිව පැවති අපරාධ චෝදනා වේ.

එසේම සැකකරු විදේශගතව සිටින දකුණු පළාතේ ක්‍රියාකාරී මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මෙහෙයවනු ලබන දෙදෙනෙකු සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි ඇති බවද හෙළිවී තිබේ.

පසුව සැකකරු ඉන්දියාවට පළාගොස් සිට ඇති බවට සිදුකළ වැඩිදුර විමර්ශනවළදී අනාවරණය වී ඇත.

අනතුරුව ගම්පහ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය සහ අපරාධ කල්ලි මෙහෙයවන්නකු සමඟ සමීපව කටයුතු කරමින් මේ අයුරින් මනුෂ්‍ය ඝාතනවල නිරතව සිට ඇති බවට පොලීසිය සැකපළකරයි.

පසුගිය මැයි මස 30 වනදා පිටකොටුව පොලිස් වසමේ බැස්ටියන් මාවත ප්‍රදේශයේදී ටී 56 ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ තවත් අයෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ අපරාධයේ සැකකරුවන් සොයා සිදුකළ විමර්ශනයේදී අදාළ වෙඩි තැබීම සිදුකළ බවට සැක ජෝසා නමැති මෙම පුද්ගලයා ඉහලගම ප්‍රදේශයේ නිවසක සැඟවී සිටින බවට පොලීසියට තොරතුරක් ලැබී ඇත.

ඒ අනුව අද අලුයම කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එම ප්‍රදේශයට ගොස් තිබේ.

පොලිස් නිලධාරීන් දැකීමෙන් පසුව සැකකරු යතුරුපැදියකින් පළායාමට උත්සාහ ගෙන ඇත.

පසුව පොලීසිය සැකකරු හඹා ගොස් ඇති අතර එහිදී සැඟව සිටි සැකකරු පොලිස් නිලධාරීන් දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇති බව පොලීසිය පවසයි.

පසුව පොලීසිය විසින් පෙරළා සිදුකළ වෙඩිතැබීමෙන් තුවාළ ලැබූ සැකකරු ගම්පහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇත.

සැකකරු තුවාල ලැබූ ස්ථානයේ තිබී පොලීසියට වෙඩි තැබීම සඳහා භාව්ත කළ ටී 56 වර්ගයේ ගිනි අවියක්, එම පතොරම් ගැබක්, ජීව පතොරම් 05ක්, හිස් පතොරම් කොපු 04ක්, සැකකරු පළාගිය යතුරුපැදිය, ආරක්ෂක හිස් වැසුම සහ ගමන් බෑගයක් පොලීසිය විසින් සොයාගෙන තිබුණි.

ගම්පහ මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ ස්ථානය පරීක්ෂා කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය ගම්පහ රෝහලේදී සිදුකර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය සහ බෙම්මුල්ල පොලිස් ස්ථානය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරණු ලබයි.

Leave a Reply

Your email address will not be published.