ඉන්ධන, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමට සැලසුම් කර අවසන් – පවතින තත්ත්වය දින කිහිපයක් ඇතුළත විසඳනවා – ජනපති කියයි

ඉන්ධන, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමට සැලසුම් කර අවසන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
පවතින තත්ත්වය දින කිහිපයක් ඇතුළත විසදන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.
වර්තමානයේ රට මුහුණ දෙන ආර්ථික අභියෝග ජයගෙන අපනයන හා කෘෂි ආර්ථිකයට ප්‍රමුඛතාව දෙමින් නව ආයෝජන සහිත ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම රජයේ අරමුණ වුණා.
එහෙත් ලොවම මුහුණ පෑ කොවිඩ් වසංගත තත්ත්වය සියලු රටවල් දැඩි ආර්ථික අර්බුදයකට ගෙන ගොස් ඇති අතර ඉතාම ධනවත් රටවල් පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සොයමින් සිටින බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
එහිදී මුදල් සංචිතයක් නොමැති අප වැනි රටක ආර්ථිකයට එම තත්ත්වය ඉතා තදින් බලපානු ලබනවා.
මේ පසුබිම මත ඇති වූ දේශපාලන අර්බුදයට සර්ව පාක්ෂික ආණ්ඩුවක් තුළ විසඳුම් සෙවීමට ජනාධිපතිවරයා සියලු දේශපාලන පක්ෂ නායකයන් සමග සාකච්ඡා කරනු ලැබු අතර ඊට ලද ප්‍රතිචාර අසාර්ථක වීමත් සමගයි රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධුර‍ය බාරගෙන කටයුතු කිරීම‍ට ඇරයුම් කෙරුණේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ඉතා සාර්ථක වී ඇති අතර ඉදිරි සති කිහිපය ඇතුළත එම ණය ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සැකසී තිබෙනවා. පසුගිය සති කිහිපය තුළ රාජ්‍ය නායකයන් සමග දුරකථනය මගින් මෙන්ම බොහෝ රටවල තානාපතිවරුන් සමග සාකච්ඡා කර එම රටවල සහාය ගැනීමට කටයුතු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
ඉතා සැලසුම්සහගත සහ දීර්ඝ වෑයමකින් පසු එහි ප්‍රතිඵල මේ වන විට රටට ලැබෙමින් පවතිනවා.
අත්‍යාවශ්‍ය ඖෂධ තොග මේ වන විටත් ලැබී තිබෙනවා.
ඉන්දීය ණය පහසුකම් යටතේ පොහොර මෙට්‍රික් ටොන් 65,000ක් ඇණවුම් කර ඇති අතර එහි පළමු පොහොර මෙට්‍රික් ටොන් 44,000ක් රැගත් නෞකාව හෙට (09) දිවයිනට ළඟා වීමට නියමිතයි.
ඉන්ධන, ගෑස් සහ ඇණවුම් කළ අත්‍යාවශ්‍ය භාණ්ඩ ජුලි මස 12 වනදා සිට අඛණ්ඩව ලැබීමට නියමිත අතර විවිධ කෘෂිකාර්මික වැඩසටහන් යටතේ රට තුළ ආහාර හිඟයක් ඇති නොවීමට සියලු කටයුතු යොදා තිබෙනවා.
21වන සංශෝධනයට මේ වන විටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
පැවති ගැටලු සහගත තත්ත්වයට සාර්ථක විසඳුම් ළඟා කරගෙන ඇති මොහොතක විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ජනතාව නොමග යවමින් ගෙනයන වැඩපිළිවෙළ ඉතා කණගාටුදායක බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.
මෙමගින් රට නැවතත් ආපස්සට ගමන් කරනු ඇති බව ඔහු පෙන්වා දෙනවා.
නිවැරදි ආර්ථික වැඩපිළිවෙළක් මගින් රටේ අනාගත දරු පරපුරට යහපත් රටක් ගොඩනැගීම‍ට සහාය වීම ජනතාවගේ වගකීමක් හා යුතුකමක් වන අතර පවතින සැබෑ තත්ත්වය නිසිලෙස අවබෝධ කරගෙන වැරදි මතවාදයන්ට හසු නොවී සාමකාමීව හා බුද්ධිමත්ව ක‍ටයුතු කරන ලෙසටයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published.