පක්ෂ රැසක් තවමත් දෙගිඩියාවෙන් – ඩලස්ගේ නමත් යෝජනා වේ

රට තුළ මතුවී ඇති දේශපාලන අර්බුදය නිමා කිරීම සදහා ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක් මේ වනවිටත් සාකච්ජා ආරම්භ කර තිබුණද තවමත් ඒ සදහා කිසිවෙකුටත් අවසන් එකඟතාවයකට පැමිණ නැහැ.
එවන් පසුබිම අද දිනයේදීත් දේශපාලන පක්ෂ අතර අභ්‍යන්තර සාකච්ජා සිදුවුණ අතරතුර තවත් දේශපාලන පක්ෂ කිහිපයක් මාධ්‍ය හමුද කැදවා තිබුණා.
කතානායකවරයා ඊයේ දැනුම් දුන්නේ පක්ෂ නායකයින්ගේ එකඟතාවයට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූර වලින් ඉවත් විය යුතු බවටයි.
ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ කතානායකවරයාට දැනුම් දුන්නේ තමන් ලබන 13 වනදා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවයි.
රට තුළ හටගෙන ඇති දේශපාලන අස්ථාවරත්වය නිරාකරණය කර ගැනීම සදහා පක්ෂ එකොළහේ නායකයින් අද බොරැල්ලේ පිහිටි කොමිනියුස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ විශේෂ සාකච්ජාවක් පවත්වනු ලැබුවා.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නම පොහොට්ටුවෙන් යෝජනා වී ඇති බවයි.
මේ අතර නිදහස් පක්ෂයේ සහ සමඟි ජන බලවේගයේ නියෝජිතයන් කිහිප දෙනෙකු අද කොළඹදී හමුවී තිබෙනවා. ඊට පක්ෂ 11 නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු පිරිසක් ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.
එමෙන්ම රටේ උද්ගතව ඇති තත්වයට විසඳුම් යෝජනා 10 ක් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.
එහි දැක්වෙන්නේ පවතින ජනතා විරෝධය හමුවේ තවදුරටත් බලයේ රැඳී සිටීමට දේශපාලනික හෝ සදාචාරාත්මක අයිතියක් ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට හෝ ආණ්ඩුවට නොමැති බවයි.
ඒ අනුව ජනතා විරෝධය තේරුම් නොගෙන තවදුරටත් කටයුතු කරන්නේ නම් රට තුළ ඉතා භයානක තත්වයක් උද්ගතවීමට ඉඩ ඇති බවයි එම නිවේදනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන පෙන්වා දෙන්නේ.
ඒ අනුව ජනාධිපතිවරයා සහ අග්‍රාමත්‍යවරයා වහා ඉල්ලා අස්වීම, ජනාධිපතිවරයෙකු පත් කරගන්නා තෙක් කථානායකවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් කරගැනීම, සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින්ගෙන් සමන්විත ජාතික විධායක සභාවක් හෝ නායකත්ව මණ්ඩලයක් ස්ථාපිත කිරීම නිදහස් පක්ෂය ඉදිරිපත් කරන යෝජනා 10 ට ඇතුළත්.
මේ මොහොතේ මහජන නියෝජිතයින්ගේ වගකීම වන්නේ ජනතාව ඉල්ලා සිටින සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවකට ඉඩ ලබාදීම බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ අද ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩාවන්ට ප්‍රධානතම හේතුව අකාර්යක්ෂම රාජ්‍ය පාලනය බවයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අද මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අනුව ජනාධිපතිරවරයා සහ අගමැතිවරයා ඉවත් වූ විට විකල්ප අග්‍රාමාත්‍යවරයා ලෙස විපක්ෂ නායකවරයා පත්වන බවයි.
එමෙන්ම ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අද මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ අරගලය සැබෑ ජයග්‍රහණයක් වීමට නම් ජන්දයකට යා යුතු බවයි.

Leave a Reply

Your email address will not be published.