රුපියල් මිලියන 33ක කේරළ ගංජා තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

මන්නාරම වැලිපර ආශ්‍රිතව සහ ඌරුමලේ වෙරළ තීරයේ නාවික හමුදාව සිදු කළ මෙහෙයුමකින් රුපියල් මිලියන 33ක පමණ වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (10) සහ ඊයේ (09) සිදුකළ මුර සංචාරයන්වලදියි තෙත බර සහිතව කේරළ ගංජා කිලෝ 113 ග්‍රෑම් 280ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ.
මුහුදු මාර්ග ඔස්සේ සිදුවන ජාවාරම් මැඩපැවැත්වීමේ අරමුණෙන් දිවයින වටා වූ මුහුද හා වෙරළාශ්‍රිත ප්‍රදේශයන් ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් සහ මුර සංචාර සිදුකරනු ලබනවා.
ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ විශේෂ යාත්‍රා බලඝණ හා මැරීන් බලඝණ කණ්ඩායමක් මඟින් මන්නාරම වැලිපර ආශ්‍රිතව සහ ඌරුමලේ වෙරළ තීරයේ අද මුර සංචාරයක් සිදුකර තිබුණා.
එහිදී, වැලිපර ආශ්‍රිත වෙරළ තීරයට ගොඩගසන ලද පාර්සල් 24ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 105ක පමණ තොගයක් සහ ඌරුමලේ වෙරළ තීරයට ගොඩගසා තිබූ කිලෝ ග්‍රෑම් 04ක්ප මණ බරැති කේරළ ගංජා අඩංගු පාර්සලයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මීට අමතරව, 2ඊයේ (09) දින වෙරළබඩ මුර යාත්‍රාවක් මඟින් මන්නාරම වැලිපර ආශ්‍රිතව සිදුකල මුර සංචාරයකදී එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කිලෝ 04යි ග්‍රෑම් 280ක පමණ බරකින් යුත් කේරළ ගංජා අඩංගු පාර්සලයක්ද සොයාගෙන තිබෙනවා.
නාවික හමුදාව විසින් සිදුකරනු ලබන මුර සංචාර හේතුවෙන් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම් කරුවන් විසින් මෙම කේරළ ගංජා මෙලෙස අතහැරදමා යන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.
නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 33ක් පමණ වෙතැයි විශ්වාස කෙරෙනවා.
මෙම කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කරන තෙක් නාවික හමුදා භාරයේ තබා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.