ජනාධිපති ධුරයට සජිත්ව යෝජනා කරන්න සජබය ඒකමතිකව තීරණය කළා – තිස්ස අත්තනායක

පුරප්පාඩු වන ජනාධිපති ධුරයට සමගි ජන බලවේගය පාර්ෂවයෙන්, එහි නායක සජිත් ප්‍රේමදාසගේ නම යෝජනා කිරීමට සිය පක්ෂය ඒකමතිකව තීරණය කළ බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක ප්‍රකාශ කරනවා.
ඔහු ඒ බව ප්‍රකාශ කළේ අද(12) සමගි ජන බලවේගය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී යි.
එහි දී ඔහු කියා සිටියේ, “සමගි ජන බලවේගය තීරණය කළා මේ පුරප්පාඩු වන ජනාධිපති ධුරය සඳහා සජිත් ප්‍රේමදාසගේ නම යෝජනා කරන්න. ජනතා අපේක්ෂාව ඉටුකිරීම වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති තනතුර සඳහා නාමයෝජනා කරන්න අපේ මන්ත්‍රි කණ්ඩායම ඒකමතිකව තීරණය කළා. මේ වනවිට රට මුහුණදෙන දැවැන්තම අර්බුදයෙන් අපි ගොඩ එන්න ඕනේ. ” යනුවෙන්.
තව ද, “රට තුළ දේශපාලන ස්ථාවරත්වය ඇති කරන්න, ආර්ථික ස්ථාවරත්වය ඇති කරන්න, සමාජ ස්ථාවරත්වය ඇති කරන්න සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස වගකීමකින් යුතුව ක්‍රියා කරන්න අපි බලාපොරොත්තු වෙනවා කියන කාරණය මුළු රටට ම කියන්න කැමතියි. මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් වන බව කතානායකතුමා ප්‍රකාශ කරලා තිබුණා. ඒ ඉවත්වීමෙන් අනතුරුව සිදුවන ක්‍රියාමාර්ග ගණනාවක් තියෙනවා. මේ ඉවත්වීමත් සමග පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ඡා කළ පරිදි පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයෙක් තෝරා ගත යුතුයි. ඒ අනුව 13 වනදා ඉවත්වීම සනාථ කළොත් 15 වෙනිදා පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතව තිබෙනවා. ජනාධිපතිවරයෙක් සඳහා නාම යෝජනා කැඳවීම 18 වෙනිදා සිදුකිරීමට නියමිතයි. 20 වෙනිදා නව ජනාධිපතිවරයා තෝරා ගැනීම පිළිබඳ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ පැවැත්වෙනවා. යනුවෙන් ඔහු සඳහන් කළා.
“අපිට පුළුවන් වුණා වැටිච්ච රට ගොඩගන්න වැඩපිළිවෙලක් යෝජනා කරන්න. සර්ව පාක්ෂික අරගලකරුවන්ගේ සමුළුවේ දී ප්‍රතිඥා දුන් ඒ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්න කෙටි කාලීනව අපේ වැඩපිළිවෙල යෝජනා කරන්න. මේක සාමුහික ප්‍රයත්නයක්. අපි රටිනුත් ඉල්ලනවා ලොකු වගකීමක් මේ වෙලාවේ ඉටුකරන්න තියෙනවා. මේ මොහොතේ ජනතාව මුහුණදෙන දැඩි පීඩනයකාරී තත්ත්වයෙන් රට මුදවා ගත යුතුයි. ඒකට සාමුහික ප්‍රයත්නයක යෙදෙන්න තියෙනවා. ඒ වෙනුවෙන් කැපවුණ පිරිසක් හැටියට සියලුදෙනාම එකමුතුව මේ ගෙනියන වැඩපිළිවෙලට මුළුමනින්ම දායකත්වය දක්වන්න කියලා මුළු රටෙන්ම ඉල්ලනවා.”
යනුවෙන් ද ඔහු එහි දී ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published.