මෙහෙම ගියොත් නුදුරේදීම රට වසා දැමීමේ තත්ත්වයක් උද්ගත විය හැකියි – මහ බැංකු අධිපති කියයි

රට දේශපාලනමය වශයෙන් ස්ථාවර නොවන තාක් ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගැනීම සිදු කළ නොහැකි කටයුත්තක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
මහ බැංකු අධිපතිවරයා මේ අදහස් පළ කළේ බීබීසී නිවුස්ලයින් වැඩසටහන සමග එක්වෙමින්.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ මහබැංකු අධිපතිවරයා කියා සිටියේ මේ වන විට රට දේශපාලනමය වශයෙන් ස්ථාවර කිරීම පාර්ලිමේන්තුවේ සිටින සියලු දේශපාලකයින් සතු පැහැර හැරිය නොහැකි වගකීමක් බවයි.
ඔවුන් එම යුතුකම් ඉටු නොකරන පසුබිමක් තුළ ආර්ථිකය යථාවත් කිරීම තවදුරටත් දුෂ්කර වන බව ඔහු පෙන්වා දෙනවා.
බැංකු අධිපතිවරයා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ණය දෙන රටවල් වලින් ණය ආධාර ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට පවා පළමුව රට තුළ පැහැදිලි පාලන ක්‍රමයක් ක්‍රියාත්මක විය යුතු බවයි
මෙම ජාත්‍යන්තර ආයතන සහ රටවල් ණය ලබා දීමේදී දේශපාලන ස්ථාවරත්වය දැඩි ලෙස සොයා බලන බවත් ඔහු අවධාරණය කළා.
මෙම පවතින තත්වයේ බැරෑරුම්කම පාර්ලිමේන්තුවේ සිටින සියලු මන්ත්‍රීවරුන් වහ වහා අවබෝධ කරග ගතයුතු බවත් ඔවුන් යම් සම්මුතියකට නො එළඹෙන්නේ නම් නුදුරු දිනකදී රට වසා දැමීමේ තත්ත්වයක් පවා උද්ගත විය හැකි බවටත් ඔහු අනතුරු අඟවනවා.
මහ බැංකු අධිපතිවරයා මෙම වැඩ සටහනේ දී කියා සිටියේ මේ වන විට මහ බැංකුව රටට අත්‍යාවශ්‍ය ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට පවා නොහැකි තත්ත්වයක පසුවන බවයි.

Leave a Reply

Your email address will not be published.