නිදහස් පක්ෂයේ තීරණය – ජී.එල්, සාගර කාරියවසම්ගෙන් කරුණු විමසයි

ජනාධිපති ධුරය සඳහා දැනට ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙකුට ඡන්දය ලබාදීමෙන් වළකින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ප්‍රකාශ කළා.

එම පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, ජනාධිපති ධුරය සඳහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට අපේක්ෂකත්වය ලබාදීමට සහය දැක්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බවට එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් කරුණු විමසීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් වෙත ලිපියක් යොමුකරමින් පක්ෂ සභාපතිවරයා විමසා ඇත්තේ පක්ෂ ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව අදාළ තීරණය ගෙන ඇත්තේ කුමන පදනමක් මත ද යන්නයි.

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් කියා සිටියේ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී සහය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර, එය ඉදිරියේදී දැනුම් දෙන බවයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ තීරණය හෙට දිනයේදී ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු සඳහන් කළා.

ඡන්ද විමසීමේදී තම සහය ලබා දෙන්නේ කුමන අපේක්ෂකයාට දැයි පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ නවයේ නියෝජිතයින් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

ලබන 19 වනදා නාම යෝජනා කැඳවීමෙන් පසු 20 වන බදාදා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකින් නව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට නියමිත අතර මෙරට ඉතිහාසයේ එලෙස ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගන්නා දෙවන අවස්ථාව මෙයයි.

මීට පෙර 1993 වසරේ එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ අභාවයෙන් පසු ඩී.බී.විජේතුංග නිතරගයෙන් ජනාධීපතිවරයා ලෙස තේරී පත්ව තිබුණා.

මේ අතර, ජනාධිපතිවරයා ලෙස මීට පෙර කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ බව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් අද නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ අද පැවති විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයේදීයි.

Leave a Reply

Your email address will not be published.