යූරියා ටොන් 3,000ක් බෙදාහැර අවසන්

තව 20,000ක් බෙදන්න තිබෙනවා

ඉන්දියාවෙන් ගෙන්වන ලද යූරියා පොහොර මෙට්‍රික් ටොන් 3,000ක් ‍ඊයේ(17) වන විට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් රට පුරා බෙදා හැර ඇත.

තවත් මෙට්ට්‍රික් ටොන් 20,000කට ආසන්න ප්‍රමාණයක් බෙදා හැරීමට ඇති බවත් ප්‍රමාණවත් ඉන්ධන තොග ඛණිජ තෙල් සංස්ථාව වෙතින් සපයන්නේ නම් මේ තොග ඉතා කඩිනමින් ගොවීන් වෙත දිය හැකි බවත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා කියයි.

‘මේ වන විට හම්බන්තොට,‍ පොලොන්නරුව, අනුරාධපුර, මොණරාගල, මඩකලපුව, අම්පාර දිස්ත්‍රික්කවල පොහොර ප්‍රවාහන කටයුතු කරනවා. මෙම පොහොර තොග අදාළ දිස්ත්‍රික්කවලට දින 10කදී බෙදා නිම කරන්නයි අප සැලසුම් කර තිබුනේ. දැනට පවතින ඉන්ධන ප්‍රශ්නය මත එම ඉලක්ක නිසි පරිදි සපුරා ගැනීමට අපහසුවන බවයි පෙනෙන්නේ. කොමර්ෂල් පොහොර සමාගම වෙත පෙරේදා (16) ඉන්ධන ලීටර 13,200ක් ලැබීමට නියමිතව තිබුණා. නමුත් එම තොග ඊයේ(17) වන තෙක් ලැබී තිබුණේ නැහැ.

ලංකා පොහොර සමාගම වෙත ඉන්ධන ලැබෙනවා. මෙවන විට එම ඉන්ධන වැඩි වශයෙන් යොදා ගන්නේ වරායෙන් පොහොර තොග බෑමෙන් පසු අදාළ ගබඩා වෙත ප්‍රවාහනය කරන්නයි. එය අඛණ්ඩව කළ යුතුයි. දැනට ලොරි රථ 80ක් මේ සඳහා යොදවා තිබෙනවා. මෙම පොහොර තොග දිස්ත්‍රික් මට්ටමින් බෙදා හැරීමට ඉන්ධන ලීටර 13,000ක් අවම වශයෙන් තව අවශ්‍ය වනවා. කොමර්ෂල් පොහොර සමාගම වෙත මේ ඉන්ධන වැඩි වශයෙන් දීම වැදගත්. කොළඹ සතොස ඉන්ධන සැපයුම්හලෙන් ඉන්ධන ගැනීමට අප කලින් සැලසුම් කර තිබුණත් ඒ ඉන්ධනහල වෙත මේ වන තෙක් ඉන්ධන තොග ලැබී නැහැ.

අපට ලැබුණු මේ පොහොර තොග නිසි ලෙසබෙදා හැරීම සිදු නොකළහොත් ඉදිරියේදී ඇති වන ආහාර අර්බුදයෙන් ගොඩ ඒමට අපට අපහසුවනවා. අප සැලසුම් කර තිබෙන්නේ මාස් කන්නයේ කුඹුරු හෙක්ටයාර් අටලක්ෂයක් සහ හෙක්ටයාර 1,20,000ක් බඩඉරිඟු වගා කරන්නටයි. ඒ සඳහා ඉන්ධන ගැටලුව විසඳීම අත්‍යාවශ්‍යයි. කොතරම් සැලසුම් සකස් කළත් ඉන්ධන ගැටලුවක් මතු වුවහොත් ආහාර අර්බුදයක් මතුවීම වැළැක්වීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ අසාර්ථක වීම වළක්වන්න අපහසු වනවා ‘යැයිද කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා ‘දිනමිණ‘ කළ විමසීමකදී පැවැසීය.

Leave a Reply

Your email address will not be published.