“රනිල්ගේ දිනුම බැසිල්ගේ මෙහෙයුමක්” – ජෝසෆ් ස්ටාලින්

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වූයේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මෙහෙයුමක ප්‍රතිඵලයක් අනුව බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව කොළඹදී ඊයේ (ජූලි 20) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පැවසීය.

රනිල් වික්‍රමසිංහට සහය පළ කළ මන්ත්‍රීවරුන් පිටුපස බැසිල් රාජපක්ෂ සිටින බව පැවසූ හෙතෙම රනිල් වික්‍රමසිංහ යනු බැසිල් රාජපක්ෂගේ අවතාරයක් බව ද ප්‍රකාශ කළේ ය.

පාර්ලිමේන්තුව තුළ ජනතා මතය නියෝජනය නොවන බව ත් එහි බැසිල් රාජපක්ෂගේ මතය පමණක් නියෝජනය වන බව ත් ස්ටාලින් සඳහන් කළේ ය.

ජනතාව ඉල්ලා සිටි වෙනස පාර්ලිමේන්තුව තුළින් ඉටුනොවීම මත වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව රනිල් වික්‍රමසිංහගේ පත්වීමට විරුද්ධ බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

ජනතාව සමග එක්ව රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති පත්වීමට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට වෘත්තීය සමිති හා බහුජන සංවිධාන සූදානම් බව ද ස්ටාලින් මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මර්දනය දියත් කරමින් ගාලු මුව‍ෙදාර අරගලකරුවන්ට බණ්ඩාරනායක පිළිරුවට මීටර් පනහක් දුරින් සිටින්නැයි උසාවි නියෝගයක් ලබාගෙන ඇති බව පැවසූ හෙතෙම ජනමතයකින් තොරව පත්වූ පාලකයෙකුට ගත හැකි එකම ක්‍රියාමාර්ගය මර්දනය පමණක් බව ද කීවේ ය.

මේ ආකාරයට දිගින් දිගට ම මර්දන කටයුතු සිදුවුවහොත් වැඩවර්ජන වැනි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සූදානමින් සිටින බව ද ස්ටාලින් ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published.