පුද්ගලයෙක් ගිනිඅවියක් සමග අත්අඩංගුවට

පිස්තෝලයක් සහ ඊට යොදන ජීව උණ්ඩ 07ක් සමග බස් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙක්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ අද (24) දින අලව්ව පොලිස් වසමේ මොරවලපිටිය ඉන්ධනහල අසල මාර්ගයේදී මෙම සිදුවීම වාර්තා වූ බවය.

එම ස්ථානයේ පැවැති වාහන තදබදයක් හේතුවෙන් මාර්ගයේ සිටි පිරිසක් සහ බස් රථයක් තුළ සිටි පිරිසක් අතර ආරවුලක් ඇතිවී තිබේ.

වැඩිදුරටත් වාර්තා වුණේ බස් රථයේ සිටි පිරිස අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාගීවීමට ගමන්කරමින් සිටියදී මෙම ගැටුම ඇතිවී තිබූ බවය.

එම අවස්ථාවේදී ඉන්ධන පිරවුම්හල අසල රාජකාරී කළ පොලිස් නිලධාරීන් විසින් එය සමථයකට පත්කර ඇත.

පසුව මාර්ගයේ හා බස් රථයේ සිටි පුද්ගලයින් 06 දෙනෙක් පමණ යම් අපරාධයක් සිදු කිරීමට සැලසුම් කිරීමේ සැකය මත පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගන්නා ලද බස් රථයේ සිටි සැකකරු සතුව තිබී මෙම පිස්තෝල ගිනිඅවිය සොයාගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 33ත් 53ත් අතර වයසේ පසුවන්නන් බවය.

ඔවුන් ඇහැලියගොඩ, පිංදෙණිය, දියහොදැල්ල, පිලිවලගාන සහ මල්මඩුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් අලව්ව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.