ගෙනත් තියන කොවිඩ් එන්නත් ඉක්මනට ගන්න

කොවිඩ් එන්නත් ගෙන්වීමට විදේශ විනිමය නොමැති මෙවැනි අවධියක එම රෝගය පාලනය කිරිම සඳහා දැනට මෙරටට ගෙන්වා ඇති එන්නත් මාත්‍රා සියල්ල ලබා ගනිමින් රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීමට ජනතාව සෞඛය අංශ වෙත සහාය දැක්විය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ මේ වනවිට රටේ කොවිඩ් ව්‍යාප්තිය වැඩි වෙමින් පවතින බවත් දෛනික රෝගීන් 100 – 150 අතර ප්‍රමාණයක් වාර්තා වෙමින් පවතින බවත්ය. කොවිඩ් මරණ සංඛ්‍යාව ද දිනකට පහක් පමණ වාර්තා වෙන බව ද ඔහු කියයි.

මෙම තත්ත්වය පාලනය කර ගැනීමට ඇති හොඳම විසඳුම කොවිඩ් එන්නත් ලබා ගැනීමයි. පසුගිය වසරක පමණ කාලසීමාවේදී අප රටේ කොවිඩ් රෝගය ඉතා හොඳින් පාලනය වී තිබුණා. නමුත් මේ වනවිට දෛනික රෝගීන් 100 ඉක්මවා තිබීම ඉතාම බරපතළ තත්ත්වයක්. බොහෝ රටවල මේ වනවිට කොවිඩ් රෝගය නැවත වර්ධනය වෙමින් පවතිනවා. එම රටවල 60%ක් – 70%ක් පමණ වාර්තා වෙන්නේ නව කොවිඩ් ප්‍රභේදයයි. ඒ නිසා අපේ රටේ විශේෂයෙන්ම වැඩිහිටි ජනගහනය තුන්වන හතරවන කොවිඩ් මාත්‍රා එන්නත් ලබා ගැනීම අත්‍යවශ්‍යයි.

දෙවන හා තුන්වන කොවිඩ් රැළි පැමිණෙන විට රටේ තිබුණු ආර්ථික ශක්තිය මේ වනවිට රට තුළ නැහැ. එසේම ජනතාවගේ එම රෝගය පිළිබඳ අවධානය මේ වනවිට ගිලිහි තිබෙනවා. ඒ සියල්ලටම වඩා රටේ විදේශ විනිමය බරපතළ අර්බුදයකට මුහුණපා සිටින මේ මොහොතේ කොවිඩ් රෝග මර්දනයට අවශ්‍ය එන්නත් ආදිය ආනයනය කිරීමට අප රරට ආර්ථික හැකියාවක් නැහැ. මේ පසුබිම තුළ තවත් කොවිඩ් රැල්ලකට මුහුණ දීමේදී අපි විශාල අර්බුදයකට තල්ලු වෙනවා.

ඒ නිසා ඉදිරියේ එන කොවිඩ් රැල්ල පාලනය කර ගැනීමට මේ මොහොතේ සිටම ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා. එසේ සාමුහිකව රෝග පාලනයට යොමුවුණොත් රට නැවතත් වසා දැමීමට සිදු නොවී රෝගය පාලනය කරගත හැකියි. ඒ සඳහා සියලු දෙනාගේ අවධානය වහා යොමු විය යුතුයි.

Leave a Reply

Your email address will not be published.