පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉසව් 7කින් ශ්‍රී ලංකාව අද තරග බිමේ

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ තරග ආරම්භ වන අද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ක්‍රීඩා 7කදී අද තරග බිමට පිවිසෙති. පිහිනුම්, ස්කොෂ්, රග්බි, ජිම්නාස්ටික්, බැඩ්මින්ටන්, බොක්සිං හා බාස්කට්බෝල් ක්‍රීඩා වෙනුවෙන් ලොව දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සටන් අරඹති.

රග්බි තරග අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1. 30ට සිට ආරම්භ වන අතර, එය බර්මින්හැම් වේලාවෙන් පෙරවරු 9.00 වේ. උදෑසන තරග කාලයේදී සත්කාරක එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර කාන්තා තරගය, එම කාල පරාසය තුළදීම ශ්‍රී ලංකා – නවසීලන්ත පිරිමි තරගය පැවැත්වේ. පසුව අද පස්වරුවේදී කාන්තා පිල නවසීලන්තය සමඟ හා පිරිමි පිල එංගලන්තය සමඟ තරග වැදීමට නියමිතය. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ පිරිමි රග්බි තරගාවලියට කාණ්ඩ 4ක් යටතේ රටවල් 16ක් සහභාගී වන අතර, ශ්‍රී ලංකාව සමඟ ‘ඒ’ කාණ්ඩයෙන් නවසීලන්තය, එංගලන්තය හා සැමෝවා රාජ්‍යය සිටී. කාන්තා තරගාවලියට කණ්ඩායම් 8ක් එක්ව සිටින අතර ,ශ්‍රී ලංකාව සමඟ එංගලන්තය, නවසීලන්තය හා කැනඩාව ‘ඒ’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙයි.

ජිම්නාස්ටික් පිරිමි කලාත්මක කණ්ඩායම් තරග හා ඒකළ තරග පෙරවරු 9.00 සිට පැවැත්වෙන අතර, හංසන ගයාෂාන්, රුචිර සන්ජන හා මලීන් ප්‍රනාන්දු එම තරගවලට පිවිසෙති. ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක අකලංක පීරිස් මීටර් 50 පිරිමි සමනල ආර ඉසව්ව වෙනුවෙන් බර්මින්හැම් සැන්ඩ්වේල් ජල ක්‍රීඩා මධ්‍යස්ථානයේ පිහිනුම් තටාකයට පිවිසෙයි. ඔහුගේ හොඳම ඉසව්ව මීටර් 50 පසුපස ආර ඉසව්ව වුවද මීටර් 50 පිරිමි සමනල ආර ඉසව්වෙන් මේ ක්‍රීඩා උලෙළෙට පිවිසේ. අකලංක මීටර් 50 පසුපස ආර ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව තත්පර 26.24කින් පිහිටුවීමට සමත් වී සිටින ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිහිනුම් ක්‍රීඩකයෙකි.

ස්කොෂ් පළමු වටයේදී ශ්‍රී ලංකාවේ රවිඳු ලක්සිරි අද පස්වරු 12.30ට බර්මින්හැම් විශ්වවිද්‍යාලීය ස්කොෂ් ක්‍රීඩාගාරයේදී ගයානා ක්‍රීඩක සෝමාරී විල්ට්සර්රේ මුණ ගැසෙයි. ශ්‍රී ලංකාවේ 9 වතාවක් අඛණ්ඩව ජාතික ස්කොෂ් ශූරයා ලෙස සම්මානයට පාත්‍ර වූ රවිඳු ලෝක ස්කොෂ් ශ්‍රේණිගත කිරීමේදී වේගයෙන් ඉදිරියට පැමිණි ක්‍රීඩකයෙකි. කොළඹ ඩී.එස්. සේනානායක විදුහලෙන් ක්‍රීඩාවට පිවිසි ඔහු මේ වසරේ ලන්ඩන් හී පැවති ‘එක්ටර්සි’ ස්කොෂ් තරගාවලියේදී ශූරතාව දිනා ගැනීමට සමත් වීමෙන් වැඩි විශ්වාසයක් ඇති කර ගෙන සිටී.

ස්කොෂ් පිරිමි මූලික වටයේ තරගවලදී ෂමීල් වකීල්, බාර්බඩෝස්හී සවාන් සිම්සන් සමඟ පස්වරු 1.45ට තරග වදින අතර, කාන්තා ඒකළ මූලික වටයේදී යෙහානී කුරුප්පු ගයානාහී අෂ්ලේ කාලීල් සමඟ තරගයට පිවිසේ. කාන්තා ඒකළ මූලික වටයේ තරගයට සහභාගි වීමට සිටි චනිත්මා සිනෙලී සමඟ තරග කිරීමට සිටි ප්‍රතිවාදී ක්‍රීඩිකාව ලියාපදිංචිය තහවුරු නොකිරීම හේතුවෙන් වනිත්මාට නිතරග ජයකින් ඊළඟ වටය දක්වා පිවිසීමේ අවස්ථාව හිමි වූවාය.

බැඩ්මින්ටන් මිශ්‍ර යුගල තරග සඳහා ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින අතර, මුල්ම තරගයට පස්වරු 2.00 සිට 5.30 දක්වා කාලය අතරතුර ඔස්ට්‍රේලියාව සමඟ තරගය පැවැත්වේ. ඔස්ට්‍රේලියාව සමඟ මේ මූලික වටයේ තරගවලදී ශ්‍රී ලංකා පිල පිරිමි ඒකළ, කාන්තා ඒකළ, පිරිමි යුගල, කාන්තා යුගල හා මිශ්‍ර යුගල තරග වලට සහභාගී විය යුතු අතර එයින් තරග තුනක් ජය ගැනීම ඉදිරියට යෑම උදෙසා අනිවාර්ය වේ. බැඩ්මින්ටන් තරග සඳහා ශ්‍රී ලංකාවෙන් නිලූක කරුණාරත්න, සචින් ඩයස්, බුවනෙක ගුණතිලක, දුමිදු අබේවික්‍රම, තිළිණි හෙන්දහේවා හා විදාරා සුහස්නී බර්මින්හැම් වෙත පැමිණ සිටිති. ශ්‍රී ලංකාව සහභාගී වන ‘ඒ’ කාණ්ඩයේ ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව හා පාකිස්තානය සිටී.

බාස්කට්බෝල් තරගාවලියට එක්ව සිටින පිරිමි ත්‍රිත්ව ක්‍රීඩක කණ්ඩායම පස්වරු 3.30ට ස්කොට්ලන්තය සමඟ තරග වදින අතර, කාන්තා කණ්ඩායම කෙන්යාව සමඟ තරග වදී. පිරිමි කණ්ඩායමට සුපුන් අතපත්තු, ජනිත් චතුරංග, ආර්නෝල්ඩ් බ්‍රෙන්ට්, යෝගනාතන් සිම්රොන් පැමිණ සිටින අතර රශ්මි පෙරේරා, චලනි පෙරේරා, ෆාතිමා මෝසෙත් හා නිහාරි පෙරේරා එක්ව සිටිති.

බොක්සිං තරග ආරම්භ කරමින් කිලෝග්‍රෑම් 60-63 කාණ්ඩය යටතේ සංජීව රාජකරුණා ෂොලිහුල්හී පිහිටි ජාතික ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී එංගලන්තයේ ජෝෂප් ටයර්ස්ට එරෙහිව බොක්සිං වළල්ලට පිවිසේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බොක්සිං තරගාවලියක් වන ලේටන් කුසලාන තරගාවලියේදී ශූරතාව දිනා ගත් රාජකරුණා බර්මින්හැම් තරගාවලිය තම පළමු අන්තර්ජාතික තරගාවලිය ලෙස සහභාගී වේ.

පුවත්පත මුද්‍රණයට යද්දී ඊයේ ආරම්භ වූ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ විචිත්‍රවත් සමාරම්භක උලෙළ එංගලන්තයේ බර්මින්හැම්හී ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙමින් තිබිණි.

Leave a Reply

Your email address will not be published.