මොරටු විදුහල-පාණදුර ශ්‍රී සුමංගල රන් සටන අද-හෙට සොයිසා පිටියේදී

මොරටු විදුහල සහ පාණදුර ශ්‍රී සුමංගල විදුහල අතර පැවැත්වෙන රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය 70 වැනි වරට අද (29) සහ හෙට (30) දෙදින මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මීට සමගාමීව පැවැත්වෙන එක්දින තරගය අනිද්දා (31) එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය. 1934 වසරේදී ආරම්භ වූ මේ තරගය මේ වන විට 69 වරක් පවත්වා ඇති අතර, එහිදී ශ්‍රී සුමංගල විදුහල තරග 8ක් ජය ගැනීමට සමත්ව තිබේ. මොරටු විදුහල තරග 7ක් ජය ගනිද්දී සෙසු තරග නිමා වී ඇත්තේ ජය පරාජයෙන් තොරවය.

මේ වසරේ මොරටු විදුහල් නායකයා ලෙස මදුර ප්‍රනාන්දු කටයුතු කරන අතර, ශ්‍රී සුමංගල විදුහල මෙහෙයවන්නේ ප්‍රභාෂ් ජයසේකර විසිනි. මේ පාසල් වාරයේදී මොරටු විදුහල තරග 7කට සහභාගි වී ජයග්‍රහණ 4ක් වාර්තා කර ඇති අතර, තරගයක් පරාජය වී තිබේ. තරග 6ක් ජය ගෙන ඇති සුමංගල විදුහල ද තරගයක් පරාජය වී ඇත. චන්දන මහේෂ් මහතාගේ පුහුණුකාරිත්වය යටතේ මොරටු විදුහල් පිල තරගයට එක් වන අතර, සුමංගල විදුහල් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කැළුම් ප්‍රනාන්දු මහතා කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published.