පාකිස්තානයට අභියෝගයක් වූ අල් කයිඩා නායකයාගේ ඝාතනය

අමෙරිකාවේ සීඅයිඒ සංවිධානයට අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායක අයිමන් අල් සවාහිරි ඩ්‍රෝන මිසයිල ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ මෙහෙයුම සඳහා ඔහු සිටින නිවැරැදි ස්ථානය පිළිබඳ ඔත්තු සැපයීම පාකිස්තානය විසින් සිදු කළ බවට ඇෆ්ගනිස්තාන දේශපාලන විශ්ලේෂක ෆාහිම් සදාත් රෙපබ්ලික් ටීවී රූපවාහිනි නාලිකාවට ප්‍රකාශ කර ඇත. පසුගියදා අල් කයිඩා සංවිධානයේ නායකයා ඝාතනය කිරීමෙන් කැලඹුණු කාබුල් අගනුවර ඔහුගේ මේ ප්‍රකාශයෙන් තව දුරටත් උණුසුම් වී ඇතැයි වාර්තා වේ.

ජර්මනිය කේන්ද්‍ර කරගනිමින් සිය විශ්ලේෂණ කටයුතු සිදු කරන ෆායිම් සදාත් ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලබා ගැනීමට කෘතගුණ සැලකීම සඳහා පාකිස්තාන ආරක්ෂක අංශය මේ තොරතුරු සැපයීම සිදු කිරීමට ඇති බවය. දේශපාලන අස්ථාවරභාවත් සමග දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින ශෙබාස් ෂරීෆ්ගේ රජය සිය ගැටලු විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපකාර බලාපොරොත්තුවෙන් පසුවන්නේ මාස ගණනාවක සිටය. ඒ සඳහා දැඩි කොන්දේසි රැසක් පනවා ඇති අතර, පාකිස්තානයේ ආහාර, ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළ දැමීමට ද එරට රජයට සිදු වී තිබේ. විදේශ මුදල් සංචිත අවසන් ඩොලරය දක්වා හිස්ව ඇති බැවින් ඉතා ඉක්මනින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය අපේක්ෂා කරන පාකිස්තානය සිය අරමුණු ඉටු කරගැනීමට අල් කයිඩා නායකයා සිටින නිවැරැදි ස්ථානය පිළිබඳ තොරතුරු සීඅයිඒ සංවිධානයට ලබා දී ඇතැයි ඔහු අනුමාන කර තිබේ.

අල් කයිඩා නායකයා සැඟවී සිටි කාබුල් නුවර දෙමහල් නිවස තවත් ත්‍රස්ත සංවිධානයක් ලෙස ලේබල් ගත කර ඇති අල් හකානි සංවිධානයේ සිරාජුදින් හකානිට අයත් බවත් වාර්තා වන බැවින් අල් කයිඩා නායකයාට සහ එම සංවිධානයට තලේබාන් රජයේ සහය ද නොඅඩුව ලැබෙන්නට ඇතැයි අදහස් පළ වී තිබේ. එවැනි තත්ත්වයක පාකිස්තානය විසින් අල් කයිඩා නායකයා ඝාතනය කිරීමට සහාය දැක්වීම පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර දැනටමත් පළුදු වී ඇති රාජ්‍යතාන්ත්‍රික සබඳතා තව දුරටත් බිඳ වැටීමට හේතු වනු ඇතැයි ද ඇෆ්ගනිස්තාන දේශපාලන විශ්ලේෂක වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මෙවැනි සිදුවීම් දේශපාලන ලෝකය තුළ දුර්ලභ නොවන බැවින් අවසන් මොහොත දක්වාම අල් කයිඩා නායකයාගේ ඝාතනය පිළිබඳ දැන නොසිටි බවට තලේබාන් සංවිධානය නොදැන සිටීම අරුමයක් නොවන බවත් ඔහු සඳහන් කර තිබේ.

අල් කයිඩා නායකයාගේ ඝාතනය පිළිබඳ දැනුම්වත්ව නොසිටීම හේතුවෙන් ඔහුගේ ඝාතනයෙන් පසු තලේබාන් සංවිධානය ද දැඩි කැලඹීමකට පත්ව ඇති අතර, සීඅයිඒ සංවිධානයට පාකිස්තානයේ සහාය ලැබී ඇති බවට තලේබාන් රජයද සැක පහළ කිරීම සිය නිගමනය තවදුරටත් සනාථ කිරීමක් බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ. පසුගිය කාලය පුරා දේශ සීමා ගැටලු මත පාකිස්තාන රජය සමග විරසකව සිටින තලේබාන් සංවිධානයට අල් කයිඩා නායකයාගේ ඝාතනය පාකිස්තානය කෙරෙහි සිය අප්‍රසාදය වැඩි කිරීමට හේතු වනු ඇතැයි ද වාර්තා වේ. ඇතැම් විශ්ලේෂණවලට අනුව ඉදිරි මාස කිහිපයේදී දෙරට අතර බරපතළ ආකාරයෙන් ප්‍රචණ්ඩත්වය වර්ධනය වීමේ වැඩි පසුබිමක් නිර්මාණය වී ඇතැයිද, අල් කයිඩා නායකයා සැඟවී සිටි නිවෙස අයත් හකානි සංවිධානයේ ප්‍රධානියකු වන සිරාජුඩීන් හකානි තලේබාන් රජයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමත්‍යවරයා වන බැවින් තත්ත්වය වඩාත් සංකීර්ණ වී ඇතැයිද වැඩි දුරටත් වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අපේක්ෂාවෙන් පාකිස්තානය අල් කයිඩා නායකයා සැඟවී සිටි ස්ථානය පිළිබඳ තොරතුරු සැපයූ බව තහවුරු වූයේ නම් ඇෆ්ගනිස්තානය මින් පසු ත්‍රස්තවාදීන්ගේ පාරාදීසයක් නොවනු ඇතැයි අල් කයිඩා නායකයාගේ ඝාතනයෙන් පසු අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් කළ ප්‍රකාශය පුස්සක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ කියති.

Leave a Reply

Your email address will not be published.