රුසියාව-චීනය ලංකාව හා හතුරු කරවීමේ පාත්ෆයින්ඩර් මෙහෙයුමක්.. එයරොෆ්ලොට්, යුවාන් වැන්ග් 5 එහි උපක‍්‍රමයි…

ඊළාම් රාජ්‍යයක් සඳහා අරමුදල් රැස් කිරීම ඇතුළු මෙරට ජාතික ආරක්ෂාවට හානිකර අන්දමින් කටයුතු කළ ගෝලීය දෙමළ සංසදය, ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව, දෙමළ ඊළාම් ජනතා සම්මේලනය, ඕස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය, බ්‍රිතාන්‍ය දෙමළ සංසදය යන ජාත්‍යන්තර දෙමළ සංවිධානවලට මෙතෙක් පනවා තිබූ තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ කවර හේතු නිසාද යන්න ඔවුන් රට හමුවේ පැහැදිලි කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, මොහොමඩ් මුසම්මිල් මහතා අවධාරණය කරයි.

ඒ මහතා මෙසේ අවධාරණය කළේ (14) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන මෙම සංවිධාන සියල්ල ඊළම සඳහා අරමුදල් රැස්කිරීම, ව්‍යවස්ථාපිත ක්‍රියාමාර්ග මගින් ඊළම ලබා ගැනීමට තැත් කිරීම, යුද අපරාධ චෝදනා එල්ල කරමින් ශ්‍රී ලංකා රාජ්‍යයට බලපෑම් කිරීම ආදිය දිගින් දිගටම සිදු කළ බවත් නව ආණ්ඩුව බලයට ඒමත් සමගම එම ක්‍රියා සියල්ල නතර වී ඇත්දැයි තමන් ආරක්ෂක බලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටින බවත් ඒ මහතා පැවසීය.

මෙම කාලය කාටත් අසීරු කාලයක් බවත් එහෙත් රජයෙන් සමෘද්ධි දීමනාව හෝ කුමන හෝ දීමනාවක් ලබන දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටින පවුල් ලක්ෂ 20ක ජනතාව බඩු මිල අධික ලෙස ඉහළ යාම, විදුලි ගාස්තු අධිකව ඉහළ යාම ආදී හේතු නිසා ඛේදනීය ඉරණමකට පත්ව ඇති බවත් ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා පෙන්වා දුන්නේය. මේ වන විට ඇමරිකා එක්සත් ජනපද සහායෙන් පවත්වාගෙන ගිය බොරු අරගලය අවසන්ව ඇතත් සමාජයේ පත්ලෙහි සිටින මෙම පවුල් ලක්ෂ 20ක පිරිසේ පීඩනය අඩු කිරීමට ආණ්ඩුව වහා පියවර නොගතහොත් වැඩිකල් නොගොස් ඇත්ත අරගලයක් පැනනැගෙන බවට ද ඒ මහතා අනතුරු ඇඟවූයේය. කල්මරමින් නොසිට සතොස වැනි ආයතන යොදාගනිමින් මේ පිරිසට සහනදායී පදනමින් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමටත් රජයේ අනවශ්‍ය වියදම් කපා හරිමින්, ලොතරැයි මණ්ඩල, දානපතීන් හා මධ්‍යම පාන්තික ජනතාවගේ ද සහාය ඇතිව මේ පිරිසට සහන සැලසීමට ‘ආහාර අරමුදලක්’ පිහිටුවීමේ වැදගත්කම ද මුසම්මිල් මහතා පෙන්වා දුන්නේය.

සර්වපාක්ෂික පාලනයක් ස්ථාපිත කිරීම සඳහා වන ක්‍රියාදාමය වේගවත්ව සිදු නොවීමට ආණ්ඩුව අභ්‍යන්තරයේ පවතින ගැටලුවක් හේතුවී ඇත්දැයි පැහැදිලි නැති බවත් තම පක්ෂය ඇතුළු පාර්ශ්ව ගණනාවක් පෙන්වා දී ඇති පරිදි ඒ සඳහා පළමුව සර්වපාක්ෂික සමුළුවක් කැඳවා එහිදී කාටත් එකඟ විය හැකි ‘අවම පොදු වැඩපිළිවෙළක්’ සැකසිය යුතුව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. එම ‘අවම පොදු වැඩපිළිවෙළ’ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සර්වපාක්ෂික පාලනය පිහිටුවීම දෙවනුව කළ යුතු බවත් සියලු පාර්ශ්ව එක්ව මේ රට මේ අර්බුදයෙන් ගොඩගත හැකි ‘අවම පොදු වැඩපිළිවෙළ’ සැකසීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ හා ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් මුසම්මිල් මහතා සඳහන් කළේය.

එසේම ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රුසියාව හා චීනය ඉලක්ක කරගනිමින් ‘මිතුරන්, සතුරන් කිරීමේ ව්‍යාපෘතියක්’ මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවය. එරෝෆ්ලොට් ගුවන් යානයක් පදනම් කරගෙන රුසියාව සමග ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රික ගැටලුවකට මැදි කළ ඒ ව්‍යාපෘතිය, චීනයේ පර්යේෂණ නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීමට ලබාදී තිබුණු අවසරය කල්දැමීමට ශ්‍රී ලංකා රජය පෙළඹවීමෙන් චීනය සමග ද එවැනිම ගැටුමක් ඇති කර තිබෙන බව ද ජනිපෙ ප්‍රචාරක ලේකම්වරයා කීය. මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට ආර්ථිකමය වශයෙන් සහයෝගය ලබාදීමට පමණක් නොව, 2022 සැප්තැම්බරයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී යුද අපරාධ චෝදනා එල්ලවන විට ද ශ්‍රී ලංකාව සමඟ සිටගන්නේ රුසියාව හා චීනය බව හොඳින් දන්නා පාත්ෆයින්ඩර් කණ්ඩායම්, විදේශ තානාපති කාර්යාල මෙම ‘මිතුරන් සතුරන් කිරීමේ ව්‍යාපෘතිය’ පිටුපස සිටින බව පෙනෙන්නේ යැයි ද ඒ මහතා වැඩිදුරටත් කීය. මෙම බරපතල තත්ත්වයට මුහුණ දීමට, නොබැඳි විදෙස් පිළිවෙත අනුව යමින් දැන්වත් වත්මන් පාලකයන් කටයුතු කරනු ඇතැයි ඒ මහතා විශ්වාසය පළ කළේය.

රුසියාවෙන් ණය සහන පදනමක් මත, ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිලෙන් 15%-35%ක් අඩුවෙන් බොරතෙල් ලබා ගැනීමේ වැඩපිළිවෙළක් තම පක්ෂ නායක විමල් වීරවංශ මහතාගේ මැදිහත්වීමෙන් සකසා දුන්න ද එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම කල්මරමින් මේ වන විට ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් ඩොලර්වලට රුසියානු තෙල් මිල දී ගැනීමේ තැනකට බලධාරීන් තල්ලු වී ඇති බවට ද මුසම්මිල් මහතා චෝදනා කළේය. මාසිකව ඩොලර් මිලියන 300ක බොරතෙල් වසර දෙකක කාලයක් පුරා ඉහත කී ණය සහන පදනමෙන් ලැබෙන බවත් නිදසුනක් ලෙස 2022 අගෝස්තු මාසයේ මිලදී ගැනීම් සඳහා ගෙවීම් සිදු කිරීමට, ලබන වසරේ අගෝස්තු තෙක් වසරක ණය සහන කාලයක් ලැබෙන බවත් කී ඒ මහතා, ඩොලර් හිගයෙන් පෙළෙන මේ රටට උචිතම එවැනි ක්‍රමවේදයකට කල්මැරීමෙන් අවසානයේ අපහසුතාවට පත්වන්නේ ජනතාව බවට ද කනස්සල්ල පළ කළේය.

“ස්වයං රැකියා ව්‍යාපෘති බිඳවැටීමෙන් අන්ත අසරණව සිටින සමෘද්ධි හා අඩු ආදායම්ලාභීන්ට ණය පොලී ගෙවීමට සහන කාලයක් ලබා දීමට ආණ්ඩුව වහාම පියවර ගත යුතුයි”

-ජානිපෙ නියෝජ්‍ය ලේකම් නිමල් පියතිස්ස

මෙහිදී අදහස් පළ කළ ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් නිමල් පියතිස්ස මහතා පෙන්වා දුන්නේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් සමෘද්ධි හා අඩු ආදායම්ලාභී ස්වයංරැකියා නියුක්තිකයන්ගේ ව්‍යාපෘති බිඳවැටීමෙන් ඔවුන් ග්‍රාමීය බැංකු මගින් ලබා ගත් ණය හා පොලී ගෙවාගත නොහැකි තත්වයකට පත්ව ඇති බවය. ඊට විසඳුම් වශයෙන් කඩිනමින් ඔවුන්ට ණය හා පොලී වාරික ගෙවීමට සහන කාලයක් ලබා දිය යුතු බව ද ඒ මහතා සඳහන් කළේය. ණය ගෙවීම තබා ඉහත පිරිස අද එදා වේල සරිකරගත නොහැකිව ලත බවත් එය කිසිසේත්ම සුළුකොට නොතැකිය යුතු බවත් ඔවුන්ගේ පීඩනය පුපුරා යාමට මත්තෙන් ආණ්ඩුව විසඳුම් ලබාදිය යුතු බවත් පියතිස්ස මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published.