රුසියාවෙන් ඉන්ධන ගෙන්වීම නවතී.. රුසියානු තෙල් තෙවන පාර්ශවයකින් මිලට ගනී..

මෙරට සංචාරයක නිරත වූ රුසියානු තෙල් සමාගම් නියෝජිතයන් දෙදෙනා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග ගිවිසුම්වලට එළඹීම පසුගිය සතියේ ප්‍රතික්ෂේප කිරීමත් සමග රුසියාවෙන් සෘජුවම වට්ටම් සහිතව ඉන්ධන ආනයනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිව ගොස් ඇතැයි රාජ තාන්ත්‍රික ආරංචි මාර්ග අනාවරණය කරයි.

පසුගියදා මෙරටට පැමිණි රුසියානු සමාගම් නියෝජිතයන් දෙදෙනාට හිතකර කොන්දේසි මත මෙම ඛනිජ තෙල් ප්‍රසම්පාදන ගනුදෙනුවලට එළැඹීම ගැන ඒත්තු ගැන්වීමට බලශක්ති අමාත්‍යාංශය ගත හැකි සෑම පියවරක්ම ගෙන ඇති නමුත් එම ප්‍රයත්නයන් අසාර්ථක වී ඇතිබව පැවසේ.

ශ්‍රී ලංකාව සිය විදේශ ණය පැහැර හැරීම ප්‍රකාශ කිරීම හේතුවෙන් දිගු කාලීන ණය මත තෙල් සැපයීමට නොහැකි වීම මෙන්ම දේශීය බැංකුවල මූල්‍ය ගනුදෙනු ගැටලු පිළිබඳවද මෙම රුසියානු සමාගම් දෙක ශ්‍රී ලංකාවට පෙන්වාදී ඇත. ඉන්ධන වෙනුවෙන් රුසියාවෙන් සෘජුව සහාය ලබාගැනීමට නොහැකිවීමට තවත් හේතුවක් වන්නේ රුසියානු සමූහාණ්ඩුවෙන් මිලදී ගැනීම් සඳහා ණයවර ලිපි (LoC) විවෘත කිරීම විදේශීය බැංකු මගින් ප්‍රතික්ෂේප කිරීම බව ද වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. මේ අනුව රුසියාවෙන් තෙල් ලබාගන්නා තුන්වන පාර්ශ්ව සමඟ ඇණවුම් කිරීම හැර වෙනත් විකල්පයක් ශ්‍රී ලංකාවට නොමැති ව තිබේ.

බොරතෙල් හිඟයට මුහුණ දීමට ඇති එකම මාර්ගය ඩුබායිහි තෙවැනි පාර්ශ්වීය සමාගමකින් රුසියානු බොරතෙල් සහ වෙනත් ඉන්ධන ආනයනය බවට ඛනිජතෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත්තේ ඒ අනුවය. මේ වන විට එමරටට රුසියානු ඉන්ධන සපයන්නා වන ඩුබායිහි පිහිටි සමාගමක් වෙතින් බොරතෙල් ආනයනයට සංස්ථාව පියවර ගෙන ඇත. කෙසේවෙතත් එලෙස ඇණවුම් කරන ලද ඉන්ධන තොග සඳහා ශ්‍රී ලංකාව මුදල් ගෙවන්නේ කෙසේද යන්න රජය මෙතෙක් ප්‍රසිද්ධියට පත්කර නැත.

Leave a Reply

Your email address will not be published.