අස්වනු නෙළන සමය ඇරැඹි පොලොන්නරුවේ ගොවීන්ට වැඩිපුර ඉන්ධන

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අස්වනු නෙළන සමය ආරම්භ වී ඇති නිසා වැඩි ඉන්ධන ප්‍රමාණයක් ගොවි ජනතාවට දෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඊයේ (15) පෙරවරුවේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ පැවති ඉන්ධන බෙදා හැරීම පිළිබඳ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මේ අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, වාරිමාර්ග, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ යන අමාත්‍යවරු ද එක්ව සිටියහ.

එමෙන්ම පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කදුරුවෙල හා වැලිකන්ද දුම්රිය ස්ථානවලට යාබදව ඇති ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් තෙල් ටැංකි කඩිනමින් ප්‍රතිසංස්කරණය කර ඉන්ධන ගබඩා කර ගොවීන්ට අවශ්‍ය ඉන්ධන කඩිනමින් බෙදා දීමට කටයුතු කරන ලෙස දැන්වීය.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් පරිහරණය ක්‍රමවත් කරන වැඩපිළිවෙළ යටතේ අනවසර ලෙස වගාකටයුතු කරන්නන් සොයා බලා අවශ්‍ය කටයුතු කරන ලෙස ද ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දෙන ලදි.

වැලිකන්ද, දිඹුලාගල, තමන්කඩුව හා හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල දුම්ර්ය දෙපාර්තමේන්තුව සතු ඉඩම් කැබලි 1248 මෙලෙස අනවසරයෙන් වගා කටයුතුවලට යොදාගෙන ඇති බව මෙහිදී අනාවරණය විය.

තවද විදේශීය ආධාර මත ක්‍රියාත්මක වාරිමාර්ග ව්‍යාපෘතීන් සඳහා අවශ්‍ය ඉන්ධන ක්‍රමවත් වැඩපිළිවෙළක් යටතේ බාධාවකින් තොරව ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන් ඉල්ලා සිටියේය.

මේ අවස්ථාවට මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති, දුම්රිය සාමාන්‍ය අධිකාරි, වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published.