කිසි ලෙසකින් අරගලකරුවන් ආපස්සට යන්නේ නෑ – එරංග

ආණ්ඩුව මේ වන විට ගෝල් ෆේස් අරගල භුමියේ රැඳී සිටි අරගලකරුවන්ට නිරන්තරයෙන් බලපෑම් කරමින් අරගලකරුවන්ගේ පවුලේ අයවළුන්ටද ගෙවල් වලට පැමිණ බලපෑම් එල්ල කරමින් සිටින බවත් රනිල් රාජපක්ෂගේ හයිය අරන් පසුගිය මාස හතරක් පුරාවට ගුහාවල් වල හැංගිලා හිටිය රාජපක්ෂ කල්ලියේ සිටින දේශපාලඥයින් සහ මැර පිරිස නැවත කරලියට පැමිණ තිබෙන බව පෙනී යන බව අද(16)දින ගාලුමුවදොර අරගලකරුවෝ සංවිධානය මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

විමලවීර දිසානායක ඊයේ දින ප්‍රසිද්ධ මාධ්‍යයට ප්‍රකාශ කරමින් ගෝල්ෆේස් අරගලකරුවන් කියන්නේ මංකොල්ලකරුවන් බවත්, ඔවුන් ජනාධිපති මන්ධිරය සහ අරලියගහ මන්ධිරය මංකොල්ල කෑ බවත් කියා සිටියා.එහෙත් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ එක් අයෙක් ජනාධිපති මන්ධිරයේ පුටුවේ වාඩි උනා කියලා, තවකෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා ජනාධිපතිගේ කොඩිය කරේදාගෙන හිටියා කියලා, තවත් කෙනෙක් ජනාධිපතිගේ ගස්ලබු ගෙඩියේ කෑල්ලක් කෑවා කියලා. ඉතින් අපි විමලවීර දිසානායකගෙන් අහනවා මංකොල්ල කනවා කියන්නේ ඒකද කියලා.

අපි සියළු දෙනාට අවධාරණය කරනවා අරගලකරුවන් මේ මතුකරමින් සිටින්නේ අවුරුදු74ක් පුරාවට මේ රට විනාශ කරපු දේ පිළිබදවයි. එයයි අපි සංවාද කරමින් ඉන්නේ, එසේ නොමැතිව මේ විදියට මන්ධිරයක් අත්පත් කර ගැනීම වැනි සරල තැනක නෙමෙයි අපි ඉන්නේ. එසේම රු.මිලියන 17කට වැඩි මුදල් ප්‍රමාණයක් ලැබුනු නිශ්චිත මොහොතකදී තරුණයෝ ආදර්ශමත් ලෙස එම මුදල් වගකීමක් ඇතිව නැවත භාර දෙනවා.

මෙම අරගලකරුවන් අත්පත් කර ගත් කාර්යාල මේ විදිහට තිබුනා නම් තිබුනේ ගෝල්ෆේස් අරගලකරුවන් විදියට එම සම්පත් වල පුරාවිද්‍යා වටිනාකම් ගැන දැණුමක් ඇතිව එවා ආරක්ෂා කළ නිසයි. ඒ නිසා අපි විමලවීරලාට කියනවා නව උපක්‍රම යොදා ගනිමින් මේ අරගලය අපි ඉදිරියට ගෙන යනවා. මේ අරගලය නිශ්චිත ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරා, ඉන් අනතුරුව අපි යෝජනා හතක් ඉදිරිපත් කරා. අත්අඩංගුවට පත් වෙලා ඉන්න සියලු දෙනා නිදහස් කරන්න, ඒ වගේම වැඩක් නැති පාර්ලිමේන්තු විසුරුවන්න. එම නිසා අපිත් ගොල්ෆේස් අරගලකරුවොත් එකතු වෙලා මේ ක්‍රියාමාර්ගේ ඉදිරියට ගෙනියනවා, කිසි ලෙසකින් අරගලකරුවන් ආපස්සට යන්නේ නෑ.

Leave a Reply

Your email address will not be published.