දෙමළ සංවිධානවල තහනම ඉවත් කළේ දීර්ඝ අධ්‍යයනයකින්

අසාදු ලේඛනගත කර තිබූ පුද්ගලයන් සහ සංවිධාන එම තත්ත්වයෙන් ඉවත් කරනු ලැබුවේ ආයතන කිහිපයක් එක්ව සිදු කරන ලද දීර්ඝකාලීන අධ්‍යයනයකින් පසුව බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ආරක්ෂක මාධ්‍ය කේන්ද්‍රය නිවේදනක් නිකුත් කරමින් මේ බව පවසා ඇති අතර එහි දැක්වෙන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, බුද්ධි ආයතන, නීතිය බලාත්මක කරන ආයතන සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය යන ආයතනයන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් සිදු කළ අධ්‍යයනයකින් මේ තීරණය ගත් බවයි.

ඒ අනුව ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් 2021 වසරේදී පුද්ගලයන් 577 දෙනකු සහ සංවිධාන 18ක් අසාදු ලේඛනයට ඇතුළත් කර තිබේ. එක්සත් ජාතීන්ගේ 2012 අංක 1 දරන රෙගුලාසි මාලාව යටතේ ආරක්ෂක අමාත්‍යාංශය මේ තීරණය ගෙන තිබේ. ඒ අනුව ඉහත පුද්ගලයන් 577 දෙනා සහ සංවිධාන 18 අතරින් ත්‍රස්තවාදය සඳහා මුදල් ආධාර සැපයීමේ ක්‍රියාකාරිත්වයක් නොපෙන්වන පුද්ගලයන් 316 දෙනෙකු සහ සංවිධාන 06ක් අසාධු ලේඛනයෙන් ඉවත් කිරීමට තීරණය කරන ලද බව ආරක්‍ෂක අමාත්‍යාංශය කියා සිටියි.

මේ කාල සීමාව තුළ ත්‍රස්තවාදයට මුදල් හා ආධාර සැපයීමේ ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කරන බවට නවතමයෙන්ම හඳුනා ගන්නා ලද පුද්ගලයන් 55 දෙනකු සහ සංවිධාන 03ක් ද අසාධු ලේඛනයට ඇතුළත් කිරීමට තීරණය කර ඇති බව ද ආරක්‍ෂක අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ආරක්‍ෂක අමාත්‍යාංශයේ එම නිර්දේශය 2022 ජූනි 29 දින විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත අනුමැතිය සඳහා යොමු කිරීමෙන් අනතුරුව පුද්ගලයන් 316 දෙනකු සහ සංවිධාන 15ක් 2022 අගෝස්තු මස 01 දින අංක 2291/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් අසාධු ලේඛනයට ඇතුළත් කර ඇත.

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට අරමුදල් සැපයීමේ යෙදී සිටීම හේතුවෙන් අසාධු ලේඛනගත කර ඇති පුද්ගලයන් සහ සංවිධාන පිළිබඳ නොකඩවා කරනු ලබන නිරීක්‍ෂණයන් සහ අධ්‍යයනයන්වලින් පසු එම පුද්ගලයන් හෝ සංවිධාන අසාධු ලේඛනයෙන් ඉවත් කිරීම හෝ නව පුද්ගලයන් හෝ සංවිධාන අසාධු ලේඛනයට ඇතුළත් කිරීම මේ පිළිබඳව ක්‍රියාකරනු ලබන ආයතන විසින් කාලානූරූපීව සිදු කරනු ලබයි.

අනාගතයේදී ද මේ ආයතන විවිධ පුද්ගලයන් හෝ සංවිධාන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන අතර යම් හෙයකින් එම පුද්ගලයන් හෝ සංවිධාන ත්‍රස්තවාදය සඳහා අරමුදල් සැපයීමේ ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ වූ බව තහවුරු වුවහොත් ඔවුන්ද අසාධු ලේඛනගත කිරීමට කටයුතු කරන බව ආරක්‍ෂක අමාත්‍යාංශය මඟින් වැඩිදුරටත් දන්වා සිටීි.

Leave a Reply

Your email address will not be published.