කොවිඩ් පොකුරු අවදානම යළි ඉහළට

කොවිඩ් වයිරසය සම්බන්ධයෙන් මහජනතාව නොසැලකිලිමත්ව කටයුතු කළොත් රට තුළ නැවත වතාවක් කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘දිනමිණ’ට ඊයේ (24) පැවසුවේය.

මේ වන විට දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 100 ඉක්මවීම සිදු වන බවත් එවැනි පසුබිමක් යටතේ කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ ඉහළ අවදානමක් පවතින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

කොවිඩ් මර්දන එන්නත්කරණය සහ ⁣කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම මඟින් කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානම මඟ හරවා ගත හැකි යැයිද හෙතෙම පැවසීය.

රට තුළ පවතින අර්බුදයන් හමුවේ නැවත වතාවක් රට වසා දැමීමේ තත්ත්වයකට කිසිසේත් යා නොහැකි බවත් එම නිසා කොවිඩ් ව්‍යාප්තිය වළක්වා ගැනීම සියලු ජනතාවගේ වගකීම බවත් ඔහු පැවසුවේය.

විශේෂයෙන්ම කොවිඩ් වයිරසය අවදානම් කණ්ඩායම් වන වයස අවුරුදු 60ට වැඩි පිරිස, නිදන්ගත රෝග පවතින පිරිස බූස්ටර් එන්නත් මාත්‍රා ගැනීමට කටයුතු කිරීම අනිවාර්ය බවද ඔහු ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published.