ඉම්රාන්ගේ මීළඟ ඉලක්කය

පුද්ගලයන් තම දේශපාලන විරුද්ධවාදීන් මැඬලීම සඳහා පොලිසිය සහ උසාවිය භාවිත කළ අපකීර්තිමත් ඉතිහාසයක් ඇති පාකිස්තානය මේ දිනවල උණුසුම් අතට හැරී ඇත්තේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ත්‍රස්ත විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගැනීමට එරට රජය සැලසුම් කරමින් සිටින බැවිනි. දේශපාලන රැස්වීමක් අතරතුරදී පොලිසියට සහ විනිසුරුවරියකට ප්‍රසිද්ධියේ තර්ජනය කළ බව කියමින් පාකිස්තාන පොලිසිය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චූදිතයකු බවට පත්කරනු ලැබූවේ මීට සති දෙකකට පමණ පෙරය. ඉන් නොනැවතී ඉම්රාන්ගේ නිවෙස වැටලීමට ද පොලිසිය පියවර ගෙන තිබූ අතර, එය පාකිස්තානයේ දේශපාලනය ව්‍යාකූලත්වයකට පත්වීමේ අවදානමකට ලක් වූ කරුණක් බවට ද පත් විය.

කෙසේ වෙතත් අත්අඩංගුවට පත්වීමේ අවදානම අපේක්ෂිත ඇපයක් මගින් දින තුනකට කල් දමාගත් ඉම්රාන් ඊයේ පෙරේදා දෙවැනි වරටත් ඇප ලබා ගත්තේය. ඉස්ලාමාබාද් නුවර ත්‍රස්ත විරෝධී අධිකරණය ඔහුට සැප්තැම්බර් 1 වැනිදා දක්වා දින 6ක ඇපයක් ලබා දුන්නේ පාකිස්තාන රුපියල් ලක්ෂයක ඇපකරයකට යටත් කරමිනි.

දැන් ඉම්රාන්ගේ අරමුණ මෙන්ම අගමැති ශෙබාස් ශරීෆ්ගේ අරමුණ ද ජනතාවට පැහැදිලිය. ඇතැමුන් කියන්නේ මේ දෙදෙනාම එකම කාසියක දෙපැත්තක් බවය. බලයේ සිටියදී මාධ්‍ය මර්දනයත්, දූෂිතයන්ට නිදහසත්, ත්‍රස්තවාදයට සෙවණත් දුන් බව කියන හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් එකළ ජනතාව අතර තරමක අප්‍රසාදයට ලක්ව සිටි බව වාර්තා වේ. කෙසේ වෙතත් ඔහුට තනතුර අහිමි වූයේ පාකිස්තානයේ ආර්ථිකය බින්දුවට ඇද දැමූ බවට චෝදනා කරමින් විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවෙන් පරාජයට පත් වීමෙනි. එය එරට දේශපාලන ඉතිහාසයේ විශ්වාසභංග යෝජනාවකින් අගමැතිධුරය අහිමි කරගත් පළමු අවස්ථාව ද විය. මේ වන විට නැවත ජාතියේ වීරයකු බවට පත්වී සිටින්නේ එලෙස තනතුර අහිමි කරගත් ඉම්රාන්මය.

අනෙක් අතට ශෙබාස් ශරීෆ් යනු හිටපු අගමැති නවාස් ශරීෆ්ගේ බාල සොහොයුරාය. සිය වැඩිමල් සොහොයුරා මුදල් වංචා හා දූෂණ රැසකට අධිකරණයේ වරදකරු වී තනතුර අහිමි කරගෙන බන්ධනාගාර ගතවෙද්දී ශෙබාස් ශරීෆ්ටද දූෂණ චෝදනා එල්ලවී තිබිණි. ඔහු විපක්ෂ නායකයා ලෙස කටයුතු කරද්දී ඔහුට එරෙහිව විභාග වෙමින් තිබූ නඩු කිහිපයකි. ඒවා තවමත් අවසන් වී නැත.

Leave a Reply

Your email address will not be published.