ආසියා කුසලාන තරගාවලියේ මුල්ම ගැටුම අදයි

ආසියා කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තරගය ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 7.30ට ආරම්භ වෙයි. විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේදී ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය ඉන්දියාවේ කොල්කටාහිදී හමු වී ඇති අතර, එහිදී ශ්‍රී ලංකාව කඩුලු 6ක විශිෂ්ට ජයක් තහවුරු කර ගත්තේය. ඒ 2016 වසරේ පැවති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදීය.

ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණ තණතිල්ල පිතිකරුවන්ට සැමවිටම සහයෝගය දක්වා ඇති හෙයින් උණුසුම් තරගයක් දැක බලා ගැනීමේ හැකියාව උදා වී තිබේ. මේ ක්‍රීඩාංගණයේ දී මෙතෙක් පවත්වා ඇති විස්සයි20 තරග 74න් 39ක්ම ඉලක්කය හඹාගිය කණ්ඩායම් ජයග්‍රහණය කර ඇති අතර, ශ්‍රී ලංකාව මේ ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කළ විස්සයි20 තරග තුනෙන් තරගයක් ජය ගෙන තරග දෙකක් පරාජය වී සිටී.

ඩුබායි පිටියේ එදා මෙදා තුර පැවති විස්සයි20 ක්‍රිකට් තරගවලදී ශ්‍රී ලංකාව වැඩිම ලකුණු රැස් කළ කණ්ඩායම බවට පත්ව තිබීම ද විශේෂත්වයකි. පාකිසාතානයට එරෙහිව 2013 පැවති තරගයකදී, ශ්‍රී ලංකා පිල ඕවර 20කදී කඩුලු 3කට ලකුණු 211ක් රැස් කර ගැනීම ඩුබායි ක්‍රීඩාංගණයේ අදටත් නොබිඳුණු වාර්තාවකි. එබැවින් ඩුබායි ක්‍රීඩාංගණ ඉතිහාස පොතේ ශ්‍රී ලංකා පිලේ දක්ෂතා අදටත් දීප්තිමක් තත්ත්වයක පවතී.

ශ්‍රී ලංකා පිලේ ලකුණු අතර සිටින පිතිකරු පැතුම් නිශ්ශංක සමඟ ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් මුල් පෙළේ සිටින බලාපොරොත්තු වෙති. චරිත් අසලංක සහ භානුක රාජපක්ෂ යන ප්‍රධාන තුරුම්පු දෙක ශ්‍රී ලංකා පිලට යම් ජීවයක් දුන හොත් මේ තරගයේ සම්පූර්ණ වාසිය ශ්‍රී ලංකාව පැත්තට හරවා ගැනීම දුෂ්කර නොවනු ඇත.

වනිඳු හසරංග ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු ප්‍රහාරයේ නායකයාවන අතර, ඔහු මේ වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 තරග 5කදී කඩුලු 10ක් බිඳ හෙළා ඉදිරියෙන් සිටින ක්‍රීඩකයෙකි. එමෙන්ම ප්‍රධාන පෙළේ අන්තර්ජාතික තරගවලදී හිමි කර ගෙන ඇති අත්දැකීම් වනිඳු මේ තරගාවලියේදී භාවිත කරන බව ප්‍රතිවාදීන් හොඳින් දන්නා නිසා ඔවුන් තුළ යම් තැති ගැනීමක් පැවැතීම ද ශ්‍රී ලංකාවට වාසි සහගත වේ.

ඊයේ පුහුණුවීම් අතරතුරදී මාධ්‍යයට කථා කළ භානුක රාජපක්ෂ, පැවසුවේ ශ්‍රී ලංකා පිලේ සියලු දෙනාටම ශූරතාව දිනා ගැනීමට මෙය ඉතා හොඳ අවස්ථාවක් වන බවය.

“එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත අපගේ පැමිණීම සාධාරණීකරණය වෙයි කියා බලාපොරොත්තු වෙනවා. ඩුබායි තණතිල්ල ශ්‍රී ලංකාවට හොදින් හුරු පුරුදුයි. අපේ බොහෝ ක්‍රීඩකයන් ඩුබායි ලීග්වල ක්‍රීඩා කර ඇති නිසා හොඳ තත්ත්වයක් සිටිනවා. අපි දෙවැනි වටයට ගොස් ඉන්දියාවට සහ පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කිරීමට විශාල විශ්වාසයකින් පසුවෙනවා. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට ක්‍රීඩා කරලා මා ලැබූ අත්දැකීම් කණ්ඩායමට ගෙන එන්න පුළුවන්” භානුක රාජපක්ෂ පැවසීය. ශ්‍රී ලංකා විස්සයි20 නායක දසුන් ශානක පිතිකරුවන්ගේ දක්ෂතා පිළිබඳ විශ්වසයකින් පසු වෙයි. පිතිකරුවන්ගේ කාර්යභාරය විස්සයි20 තරගයකදී ඉතාම වැදගත් බව දසුන්ගේ මතය වේ. “වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දිල්ෂාන් මධුසංඛ, අසිත ප්‍රනාන්දු හා ජෙෆ්රි වැන්ඩර්සේ වැනි පන්දු යවන්නන් දක්ෂතා අතරට එනවා. අපේ පන්දු යැවීමත් පන්දු රැකීමත් හොඳ ශක්තිමත් තැනක තිබෙනවා” දසුන් ශානක පැවසීය.

ඇෆ්ගනිස්තාන නායක රෂීඩ් ඛාන් ඔවුන්ගේ දඟ පන්දු බළඇණිය පිළිබඳ ප්‍රබල විශ්වාසයකින් පසු වේ. නව පුහුණුකරු ජොනතන් ට්‍රොට්ගේ මඟපෙන්වීම යටතේ ශක්තිමත් පිතිකරණ ලැයිස්තුවක් ගොඩනැඟීම කෙරෙහි ද ඔහුගේ අවධානය යොමුව පවතී. මේ මස මුලදී බෙල්ෆාස්ට්හිදී අයර්ලන්තයට එරෙහිව විස්සයි20 තරග පහක් ක්‍රීඩා කර ඇති ඇෆ්ගනිස්තානය එම තරඟාවලිය 3-2ක් ලෙස පරාජය විය. අයර්ලන්ත සංචාරයට පෙර ඔවුන් සිම්බාබ්වේහිදී පැවති තරගාවලිය 3-0ක් ලෙස ජය ගත්තේය. උප නායක නජිබුල්ලා සද්‍රාන් විස්සයි20 පිතිකරුවකු ලෙස දක්ෂතා වර්ධනය කර ගෙන ඇත.

හර්සතුල්ලා සාෂී හා රාමනුල්ලා ගුරුබාස් පිතිකරණ ලැයිස්තුවේ සිටිති. ගුරුබාස් ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ජැෆ්නා කිංග්ස් හා කැන්ඩි ටස්කර්ස් කණඛ්ඩායම් නියෝජනය කළේය.

“අපේ පුහුණුකරු ජොනතන් සමඟ බොහෝ දේ කතා කළා. ඔහු වසර ගණනාවක් එංගලන්තයට ක්‍රීඩා කර අත්දැකීම් තිබෙන අයෙක්. ඔහු අපට උදව් කරමින් විවිධ තත්වයන් සඳහා විවිධ මානසිකත්වයන් ගැන කතා කළා. මෙම තරගාවලියට සූදානම් වන්නේ මානසික ශක්තියක් ඇතිවයි. ප්‍රධාන අවධානය යොමුව තිබෙන්නේ අපේ පිතිකරණ අංශයට. අපිට හොඳම දඟ පන්දු යවන්නෙක් ඉන්නවා” උප නායක නජිබුල්ලා පැවසීය.

Leave a Reply

Your email address will not be published.