පාසල්ට අමෙරිකාවෙන් ටින්මාළු සහ පරිප්පු

පාසල් දිවා ආහාර වේලෙහි පෝෂණීය මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් අමෙරිකානු රජය මෙරටට වියළි ආහාර තොගයක් ප්‍රදානය කර ඇත.එම වියළි ආහාර තොගය අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත නිල වශයෙන් භාරදීම මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චං මහත්මිය අතින් වත්තල, මුතුරාජවෙල පිහිටි ‘ස්පෙක්ට්‍රා’ ගබඩා සංකීර්ණයේ දී ඊයේ (26) සිදු විය.

පෝෂණ ගුණයෙන් ඉහළ රෝස සැමන් මෙට්‍රික් ටොන් 890ක් සහ පරිප්පු මෙට්‍රික් ටොන් 2,000ක් මේ ප්‍රදානය යටතේ මෙරටට ලැබී ඇත. පාසල් සිසුන්ගේ දිවා ආහාර වේල සඳහා මේ වියළි ආහාර එක් කිරීමට නියමිතය.

‘සේව් ද චිල්ඩ්රන්’ ආයතනයේ සෘජු මැදිහත්වීම මත අධ්‍යාපන, මුදල් හා සෞඛ්‍ය අමාත්‍යාංශ ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මේ පෝෂණ වැඩසටහන මඟින් සිසුන්ගේ පාසල් පැමිණීම දිරි ගැන්වීමටත්, ඉගෙනුම් අවධානය වැඩි කිරීමටත්, ආහාරයේ සමබල පෝෂණීය මට්ටම රඳවා ගැනීමටත් අපේක්ෂා කෙරෙන අතර, සිසුන්ගේ ඉගෙනුම් නිපුණතා වැඩිදියුණු කිරීම එහි ප්‍රධානම අරමුණ වේ.

අමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කලාපීය නියෝජිත මරියානෝ බෙලාඩ් (Mariano Beillard) හා ‘සේව් ද චිල්ඩ්රන්’ ආයතනයේ ජාතික අධ්‍යක්ෂ ජූලියන් සෙල්ලප්පා මහත්වරු ද වියළි ආහාර තොගය ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වූහ.

Leave a Reply

Your email address will not be published.