මහ උළු ගෙදරට ගිය මැලේසියාවේ හිටපු අගමැති

ලෝක දේශපාලනය තුළ විවිධ රාජ්‍ය නායකයන් කළ කී දෑ මෙන්ම ලෝකයට ඉතිරි කළ දෑ සම්බන්ධයෙන් ද විවිධ අවස්ථාවන්හිදී මතක සැමරුම් ඉතිරි කර ඇති බව ඒ පිළිබඳ අවධානය යොමු කරන සියලු දෙනාටම හැඟෙන කරුණකි. විටෙක එය භෞතික වස්තූන් වන අතර, තවත් විටෙක එය විවිධ ප්‍රකාශ පවා විය හැකිය. දේශපාලන චරිත හා කතා වස්තු කවරක් වුවද යුරෝපීය හෝ අන් කලාපීය දේශපාලනය සම්බන්ධයෙන් කතාබහ කරනවාට වඩා ආසියානු කලාපීය දේශපාලන සම්බන්ධයෙන් කතාබහ කිරීමේදී අපට නොයෙක් වෙනස්කම් පිළිබඳව හඳුනාගත හැකිය. විශේෂයෙන් දකුණු ආසියානු කලාපීය දේශපාලනය පිළිබඳ කතා කිරීමේදී දූෂණ මෙන්ම නොයෙකුත් වංචා අක්‍රමිකතා ඇති බව නිරන්තරයෙන් දැනහඳුනා ගැනීමට ලැබෙන්නේ ඒ පිළිබඳ විමසිලිමත්ව පිරික්සීමේදීය. එමෙන්ම ඉන් පරිබාහිරව බැලූ කල ආසියාවේ විවිධ රටවලද එවන් දෑ අපට දැකගත හැකිය. එහි ආසන්නතම කරුණ වන්නේ පසුගියදා කතාබහ කරන්නට යෙදුණු මාතෘකාවක් වූ මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දූෂණ වංචා නඩු තීන්දුව සම්බන්ධයෙනි. ඒ හිටපු අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ නජීබ් රසාක් සිරගත කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගැනීමත් සමඟිනි. ඒ අයුරින් ඔහුට සිරගත කිරීමට පියවර ගනු ලැබුවේ එරට රාජ්‍ය ආයෝජන අරමුදල් වංචනිකව තම පෞද්ගලික ගිණුමට බැර කිරීම කාරණාව අලළා අල්ලස් නඩුවක් ඉදිරිපත් වීමත් සමඟය. ඔහු එම නඩුව සම්බන්ධයෙන් අභියාචනයක් ද ඉදිරිපත් කර තිබිණි.

නජීබ් රසාක්

නජීබ් රසාක් උපත ලැබුවේ 1953 ජූලි මස 23 වැනිදාය. තම තරුණ සමයේදීම දේශපාලනයට පිවිසි ඔහු 1976දී මුලින්ම පාර්ලිමේන්තුවට පත් වූයේ තම පියාගේ අභාවයත් සමඟ හිස් වූ එම ආසනයේ පුරප්පාඩුවටය. නජීබ් රසාක් එම වසරේදීම United Malays National Organization (UMNO) පක්ෂයේ තරුණ අංශයේ විධායක සාමාජිකයකු වන්නටද සමත්කම් දැක්වීය. 1976 සිට පාර්ලිමේන්තුවට පැමිණීමත් සමඟ මැලේසියාවේ අග්‍රාමාත්‍ය තනතුර හොබවන තුරු ඔහු එරට කැබිනට් මණ්ඩලයේ විවිධ අමාත්‍ය ධුර දැරීමට සමත් විය.

කෙසේ වෙතත් ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ කාල වකවානුවේදී පක්ෂයේ සභාපති ධුරය දරන්නටද සමත් විය. (2007-2018) ඔහු තම අගමැති ධුරය දරන කාලයේදී රජයේ සහනාධාර කප්පාදු කර, විදේශ ආයෝජන සීමා කරන ලද ප්‍රතිපත්තියක කටයුතු කර ඇත.

දූෂණ අක්‍රමිකතා

69 හැවිරිදි හිටපු අග්‍රාමාත්‍යවරයාට එල්ල වී ඇති චෝදනාව වන්නේ 1Malaysia Development Berhad (1MDB) අරමුදල අවභාවිත කිරීමයි. මේ සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා විමර්ශනය කිරීමේදී 2020 ජූලි මාසයේ සිට ඔහු වරදකරු බවට පත්වී වසර 12ක සිර දඬුවමකට ලක් විය. එහෙත් මේ සියල්ල අතරතුර ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය. එහිදී කරුණු ඉදිරිපත් කරමින් තමාට එරෙහිව නැඟෙන සියලු චෝදනාව ප්‍රතික්ෂේප කළ අතර, අභියාචනාවක් ඉදිරිපත් කරනු ලැබුවේ තමා එම චෝදනාවලින් මුදා නිදහස් කරන ලෙස ඉල්ලීම් කරමිනි. මේ අභියාචනාව සමඟ වසර දෙකක පමණ කාලයකට ඔහුට නිදහසේ තම කටයුතු සිදුකිරීමේ හැකියාව ලැබුණේ 2020 ජුලි මස සිට ඇප මත නිදහස්ව සිටීමේ අවස්ථාවද ලැබීමත් සමඟිනි.

ඔහු සම්බන්ධව මූලිකව මේ කරුණ අලළා දඬුවම් නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය මීට අමතර චෝදනා ද එල්ල කරන්නට කටයුතු කළේය. ඒ අතර පවත්නා නඩු විභාග කීපයක් අතරතුර ඔහුගේ බිරියටද දූෂණ කටයුතු සම්බන්ධයෙන් නඩු විභාග කීපයකටම පෙනී සිටින්නට විය. 2020 වසර වන විට මැලේසියාවේ හිටපු අගමැතිවරයා වූ නජීබ් රසාක් උසාවියෙන් චෝදනා හතකට වරදකරුවකු කිරීමට කටයුතු කර තිබිණි. මේ සඳහා ඔවුන් පදනම් කර තිබුණේ SRC International මඟින් ඩොලර් මිලියන 9.4ක පමණ මුදලක් ඔහුගේ පෞද්ගලික බැංකු ගිණුමට හුවමාරු කරගැනීමය. එමෙන්ම විමර්ශනයේදී සඳහන් කරන්නේ අගමැතිවරයා ලෙස කටයුතු කළ පළමු වසරේදී පමණක් 1MDB මඟින් ඩොලර් බිලියන 4.5ක් වංචා කර ඇති බවයි.

2018 මැතිවරණය

නජීබ් රසාක් තම දේශපාලන ගමන් මඟ තුළ මෙවන් වූ සංකීර්ණ නීතිමය ගැටලුවකට මුහුණ පෑ මුල්ම අවස්ථාව වන්නේ මෙයයි. ඊට මූලිකම හේතුව වශයෙන් සඳහන් කළ හැකි වන්නේ 2018දී පැවති මැතිවරණයෙන් ඔහුට අන්ත පරාජයකට මුහුණ දීමට සිදුවීමය. එය පෞද්ගලිකව ඔහුගේ පමණක් නොව UMNO පක්ෂය වසර 60කට වඩා පවත්වාගෙන තිබූ බල පරාක්‍රමය බිඳගත් අවස්ථාවයි. මැතිවරණය පරාජයට පත් වන විට නජීබ් 2008 සිට 2018 කාලය තුළ පක්ෂයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරන්නට විය. දේශපාලනිකව තමා සහ තම පක්ෂය පරාජය වීමත් සමඟ ඔහුට එරෙහිව දූෂණ චෝදනා යටතේ 2020 ජුලි මස අධිකරණය මඟින් වරදකරුවකු වූ අතර, වසර 12ක සිර දඬුවමක් නියම විය. ඒ සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කළ අභියාචනාවද පසුගියදා පසුගියදා පරාජයට පත්වීමත් සමඟ වසර 12ක සිර දඬුවම සහ ඩොලර් මිලියන 46.84ක දඩයක් නියම විණි.

මේ සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබූ වාර්තා අතර, 1MDB වෙනත් ප්‍රති පාර්ශ්ව විසින්ද එහි මුදල් උපයෝගී කරගනිමින් විවිධ ආකාරයේ දේපොළ මිල දී ගැනීමට, සිතුවම් මිල දී ගැනීමට, හෝටල, රන් භාණ්ඩ, පුද්ගලික ජෙට්යානා මිල දී ගැනීමට සහ 2013 වසරේදී හොලිවුඩ් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට පවා මුදල් යොදවා ඇති බව සඳහන් කර තිබේ.

ඒ කෙසේ වෙතත් නජීබ්ගේ අභියාචනය පරාද වී නඩු තීන්දුව දීමට කටයුතු කිරීමත් සමඟ ඔහු ප්‍රකාශ සිටියේ අධිකරණයේ කටයුතු තමාට ඉතා අසාධාරණ ලෙස මෙහෙයවා ඇති බවය. ඔහුට විරුද්ධව සිර දඬුවම් නියම වීම සමඟ ඔහුගේ නීතිඥ කණ්ඩායම විසින් කරුණු ඉදිරිපත් කර තිබුණේ මේ සඳහා ඔහුගේ සම්බන්ධතාවයක් නැති බවත් මූල්‍ය උපදේශකයන් විසින් ඔහුව විවිධ ප්‍රකාශ මඟින් නොමඟ යවා ඇති බවත්ය. නීතිඥ කණ්ඩායම විශේෂයෙන් සඳහන් කළේ මැලේසියාවේ පමණක් නොව එක්සත් ජනපදයේ පවා විවිධ චෝදනාවට ලක්ව සිටින ජෝ ලෝ නමැත්තා මේ සඳහා මූලිකව ක්‍රියා කර ඇති බවයි. තවද මෙම නීතිඥ කණ්ඩායම වැඩිදුරටත් විවිධ කරුණු ඉදිරිපත් කරමිනි කියා සිටියේ හිටපු අග්‍රාමාත්‍යවරයා සතු සියලු බැංකු ගිණුම්වල ඇති මුදල් වංචාකාරී ලෙස රජයෙන් ගත් ඒවා නොවන බවත්, ඒ සියල්ල සවුදි රජ පවුල විසින් ඔහුට දුන් පරිත්‍යාග බවයි. මේ අතරම අමතර කරුණක් ලෙස ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලැබුවේ අගවිනිසුරු මෙම ධුරයෙන් පහ කරන ලෙසය. තවද 2018 වසරේදී අගවිනිසුරුවරියගේ සැමියා හිටපු අග්‍රාමාත්‍යවරයාගේ කටයුතු විවේචනය කරමින් ෆේස්බුක් සටහනක් තබා ඇති බවද ඔවුහු පවසා සිටියහ. එහෙත් නීතිඥවරුන්ගේ එම ප්‍රයත්නය ද අසාර්ථක වූයේ අධිකරණය මඟින් ඔහුට විරුද්ධව චෝදනා එල්ල කිරීමට ප්‍රථමව එම ෆේස්බුක් සටහන තබා ඇති බව සඳහන් කිරීම හේතුවෙනි. මේ සියලු කරුණු නිසා විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණය වූයේ මැලේසියා හිටපු අගමැතිවරයා වූ නජීබ් රසාක් පැවති චෝදනා හතටම වරදකරු බවයි.

මීට අමතරව ඔහුගේ බිරිය සම්බන්ධයෙන්ද බදු මුදල් පැහැර හැරීම සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනා එල්ල වී ඇති අතර, එහිදී ඇය නිවැ‍රැදිකරු බවට ප්‍රකාශ කර තිබේ. එහෙත් තවත් ව්‍යාපෘතියක් සම්බන්ධව ඇයට දූෂණ චෝදනා එල්ල වී ඇති අතර, ලබන සැප්තැම්බර් මස පළමුවැනිදා එරට මහාධිකරණය විසින් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

නඩු තීන්දුවෙන් පසුව

හිටපු අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් නඩු තීන්දුව දීමෙන් පසුව අගවිනිසුරුවරයා සඳහන් කළේ එම නඩුවද මුදල් විශුද්ධිකරණය, විශ්වාස කඩ කිරීම සහ බලය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් පැවති සාමාන්‍ය නඩුවක් පමණක් බවය. 2020 වසරේ සිදු වූ ලොව විශාලතම මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් නජීබ් රසාක් පසුගිය අඟහරුවාදා වසර 12ක සිරදඬුවමකට යටත් කිරීමට කටයුතු කළද ෆෙඩරල් අධිකරණ තීන්දුව සමාලෝචනය කිරීම සඳහා ඔහුට ඉදිරිපත් විය හැකි අතර, රජුගෙන් සමාව ඉල්ලා සිටීමේ හැකියාවද පවතී. ඒ සියල්ල සාර්ථක වුවොත් වසර 12ක සිර දඬුවමක් නොවිඳ ඔහුට ඉන් ඉවත් වීමට හැකිය. ඔහු දූෂණ වංචා නඩුවකට වරදකරුවකු වී ඇති බැවින් ඔහුට පාර්ලිමේන්තු අසුන අහිමි වන අතර, මැතිවරණයට ඉදිරිපත් වීමටද නොහැකිය. පසුගිය අඟහරුවාදා නජීබ් සිරගත කිරීමෙන් පසු දින ඔහුගේ ආධාරකරුවන් තුන්සියයක් පමණ මාලිගාවට රැස් වූයේ රජුට සමාව දෙන ලෙස රජුගෙන් ඉල්ලා සිටීම සඳහාය. එහෙත් Bloomberg වෙබ් අඩවිය සඳහන් කරන්නේ බල සම්පන්න චරිතයක් වන හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් සිර මැදිරිය තුළ සිට වුවද මැලේසියාවේ රජුන් තනන්නකු ලෙස කටයුතු කළ හැකි බවයි.

Leave a Reply

Your email address will not be published.