ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කළු, ගිං සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම් මේ වන විට ඉහළ යමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

කළු ගඟ ආශ්‍රිත පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ද මේ වන විට හටගෙන තිබේ.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික් 8ක් සඳහා පනවා තිබු නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.

කළුතර, කොළඹ, ගාල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා එම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව වාර්තා වේ.

එම දිස්ත්‍රික්වල හඳුනාගත් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ රතු නිවේදන ද නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.