කොහාගේ බිත්තර රකින්නේ පොහොට්ටුවේ අපි – ඇමැති ප්‍රසන්න රණතුංග

ජනාධිපතිවරයා කපුටු කූඩුවේ බිත්තර දැමූ කොහෙකුට විපක්ෂය විසින් සමාන කළ ද එම කොහාට බිත්තර දැමීමට කැමැත්තෙන් අපි කූඩුව දුන්නා. එම බිත්තර කන්න එන නයි, පොළොන්ගුන්ට අපි කොටනවා යැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (02දා) පැවසීය.

අතුරු අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම මේ බව කීවේය. එහිදී ඔහු මෙසේද කීවේය.

පසුගිය දිනවල විවාදයට සහභාගි වූ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතා කළේ මේ අර්බුදයෙන් ගොඩ එන මාර්ගය නොවේ. ජනාධිපතිතුමාව හුදකලා කරලා පොහොට්ටුවට හා රාජපක්ෂවරුන්ට ගහලා ඔවුන්ගේ දේශපාලන අර්බුදයෙන් ගොඩ යන ක්‍රමයක්. අද ඒ අයට ජනාධිපතිතුමා හොඳ වෙලා ජනාධිපතිතුමාව පත් කරපු පොහොට්ටුවේ අපි දුෂ්ටයෝ වෙලා. එයාලාට මතක නැහැ එතුමන්ලා වර්තමාන ජනාධිපතිතුමාව හැර ගිය හැටි. ජනාධිපතිතුමා ඒ සියල්ල අමතක කරලා රට ගැන හිතලා රට අර්බුදයෙන් ගොඩ ගන්න ඒ අයට ආරාධනා කළා. අද මේ විපක්ෂය එතුමාව කපුටු කූඩුවේ බිත්තර දැමූ කොහෙකුට සමාන කරනවා. මතක තියාගන්න එරබදු මල් පිපිලා අවුරුදු එන බව අපිට මුලින්ම කියන්නෙත් කොහා කියලා. ඔව් ඒ කොහාට බිත්තර දාන්න අපි අපේ කූඩුව දුන්නා. අපි කැමැත්තෙන් දුන්නේ. කොහා කියලා දැනගෙන දුන්නේ. ඒ නිසා අපි කොහාට කොටන්න යන්නේ නෑ. ජනාධිපතිතුමායි අපියි එකට වැඩ කරනවා. ඒක තමා සිස්ටම් චේන්ජ් එක. එතුමා මුලින්ම කූඩු හදන්න උත්සාහ කළේ ඔබතුමාලා එක්ක. ඔබතුමාලා තමයි එතුමාව කොටලා එළෙව්වේ. අපි ස්තුතිවන්ත වෙනවා අර්බුදය තේරුම් අරගෙන හරීන් හා මනුෂ ඇමැතිවරු කළ කැපවීමට. මතක තියාගන්න කොහාගේ බිත්තර රකින්නේ පොහොට්ටුවේ අපි බව. ඒ බිත්තර කන්න එන නයි පොළොන්ගුන්ට අපි කොටනවා. බිත්තර කන්න දෙන්නේ නැහැ.

Leave a Reply

Your email address will not be published.