වෛද්‍ය උපකරණ 43ක මිල 40%කින් නඟී

වෛද්‍ය උපකරණ 43ක මිල පෙරේදා (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබේ.

ඒ සඳහා වන අති විශේෂ ගැසට් පත්‍රයට සෞඛ්‍ය ඇමැතිවරයා අත්සන් තබා ඇති අතර, සියයට 40ක ප්‍රතිශතයකින් වෛද්‍ය උපකරණයන්හි මිල ඉහළ නංවා ඇත.

වෛද්‍ය උපකරණ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අත්සන් තබා ඇති මේ ගැසට් පත්‍රයට අනුව හෘද සැත්කම් සඳහා භාවිත කරන ස්ටෙන්ට්, අක්ෂි කාච, පල්ස් ඔක්සිමීටර්, රුධිර ග්ලූකෝස් මාපක ඇතුළු සැත්කම් සඳහා භාවිත කරන වෛද්‍ය උපකරණ රැසක මිල ඉහළ නංවා ඇත.

පල්ස් ඔක්සිමීටරයක් වෙළෙඳපොළ තුළ රුපියල් 3,000කට අඩු මිලකට අලෙවි කළ ද ගැසට් පත්‍රයේ නව මිල අනුව රුපියල් 5,418කි. රුපියල් 2,700ක් පමණ වන රුධිර ග්ලූකෝස් මාපකය රුපියල් 6,200ක් දක්වා ඉහළ ගොස් ඇත.

රුපියල් 80ක් වූ රුධිර ග්ලූකෝස් මාපක සඳහා භාවිත කරන තීරුවක නව මිල රුපියල් 112.21ක් දක්වා ඉහළ ගොස් තිබේ. ලෝහමය ස්ටෙන්ට් රුපියල් 54,036 දක්වා ඉහළ නංවා ඇති අතර, ඖෂධ මුදාහැරීම සඳහා භාවිත කරන ස්ටෙන්ට් වර්ගවල මිල රුපියල් 236,224.80ක් දක්වා ඉහළ නංවා තිබේ.

රුපියලට සාපේක්ෂව ඩොලරයේ මිල ඉහළ යෑම සැලකිල්ලට ගෙන වෛද්‍ය උපකරණවල මිල ඉහළ නංවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published.