සෞදි අරාබියේ විශාලතම මත්පෙති තොගය අල්ලයි වටිනාකම ඩොලර් බිලියන 1.1ක්

සෞදි අරාබියේදී එතෙක් මෙතෙක් හමු වූ විශාලතම මත්පෙති තොගය අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශය සමත් වී ඇතැයි වාර්තා වේ. රියාද් නුවර වරායකින් ගොඩ බෑ පිටි කන්ටේනරයක් තුළ සඟවා සෞදි අරාබියට ගෙන ආ බව කියන එම මත්පෙති ප්‍රමාණය මිලියන 47ක් වන අතර, එහි වටිනාකම අමෙරිකා ඩොලර් බිලියන 1.1ක් බව සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 3700ක් පමණ වේ.

එම මත්පෙති තොගය ගබඩා සංකීර්ණයක් වෙත ප්‍රවාහනය කරමින් සිටියදී සෞදි අරාබි ආරක්ෂක අංශයට ලැබුණු ඔත්තුවක් මත වැටලීම සිදු කර ඇති අතර, පුද්ගලයන් අටදෙනකු මේ වන විට සෞදි අරාබි පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. සිරියානු ජාතිකයන් 6 දෙනකු සහ පාකිස්තාන ජාතිකයන් දෙදෙනකු ඒ අතර සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

ගබඩා කිරීමෙන් පසු එම මත් පෙති තොගය නැවත වෙනත් රටවල් කරා ප්‍රවාහනය කිරීමට හෝ නැව්ගත කිරීමට සැලසුම් කර ඇතැයි සෞදි ආරක්ෂක අංශය අනුමාන කර තිබේ.

එසේ වුවත් සෞදි මත්ද්‍රව්‍ය කාර්යාංශ වාර්තාවලට අනුව කැප්ටගන් නමින් නිෂ්පාදිත එම මත්පෙති සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් රටවල ධනවත් තරුණයන් අතර අතිශය ජනප්‍රිය මත්ද්‍රව්‍යයකි. එවැනි එක් මත්පෙත්තක් ඩොලර් 10ත්, 25ත් අතර මුදලකට අලෙවි වන බවත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.