සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද විවාදයට

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත ලබන බ්‍රහස්පතින්දා (08) විවාදයට ගැනීමට තීරණය කර තිබේ.

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමකින් තොරව සම්මත කරගැනීමට නියමිතව තිබුණද මන්ත්‍රීවරුන් විවාදයක් අවශ්‍ය බව පෙන්වාදීම හේතුවෙන් ඊට අදාළ විවාදය ලබන බ්‍රහස්පතින්දා පැවැත්වීමට එලෙස තීරණය වී ඇත. 

මේ සඳහා සංශෝධන ද ඉදිරිපත් කර ඇති හෙයින් මේ පිළිබඳව විවාද කිරීමේ අවශ්‍යතාව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා යන මන්ත්‍රීවරුන් කථානායකවරයාගෙන් ඉල්ලා සිටීම නිසා මෙම තීරණය ගෙන ඇත.

රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සහ කෝවිඩ් -19 වසංගතයෙන් පීඩාවට පත් ආර්ථිකය නැවත ගොඩනැගීමේ අරමුණින් හඳුන්වා දෙනු ලැබූ පියවරක් ලෙස 2022 අයවැය මගින් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හඳුන්වා දෙන ලදි.

වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 120 ඉක්මවනු ලබන ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන් සහ තොග වෙළෙන්ඳන් සහ සිල්ලර වෙළෙන්ඳන්ගේ බද්දට යටත් පිරිවැටුම මත සියයට 2.5 ක අනුපාතයකින් මෙම බද්ද අය කෙරේ.  

මේ අනුව ලබන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබූ 2022 වර්ෂය සඳහා වන වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය වෙනත් දිනකදී පැවැත්වෙනු ඇති.

Leave a Reply

Your email address will not be published.