ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා ගැන සොයන්න යන්ත්‍රණයක්

ශ්‍රී ලංකාවට එල්ල කර ඇති මානව හිමිකම් කඩ කිරීම් ඇතුළු චෝදනා සම්බන්ධයෙන් සත්‍ය සොයා ගැනීමට ව්‍යවස්ථාවට හා අපරාධ නීතියට හානි නොවන යන්ත්‍රණයක් සකස් කිරීමට රජය තීරණය කරයි. එවැනි යාන්ත්‍රණයක් මඟින් මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් පවතින චෝදනාවල අවසානයක් දැකීම අපේක්ෂා කරන බව ද ඇතැම් විට අසාධාරණ ලෙස චෝදනාවට ලක්කර සිටින හමුදා නිලධාරීන්ට තම නිර්දෝෂීභාව ඔප්පු කිරීමේ හැකියාවක් ලැබෙන බව ද විදේශ කටයුතු ඇමැති එම්.යූ.එම්. අලි සබ්රි මහතා ප්‍රකාශ කරයි. විදේශ කටයුතු ඇමැතිවරයා මේ බව සඳහන් කළේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඊයේ (05) පැවති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව මේ වන විට ජාතික සංහිඳියාව සඳහා දීර්ඝකාලීන විසඳුම් සොයමින් සිටින බවත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයකට යායුතු බවත්ය. පීඩාවට පත්වූ ජනතාවටත් සහන ලබාගත යුතු බව පෙන්වා දුන් ඇමැතිවරයා ඒ වෙනුවෙන් සත්‍ය සොයා යෑමේ ක්‍රමවේදයකට යා යුතුව තිබෙන බව ද රටේ නීතියට හා ව්‍යවස්ථාවට එහා ගොස් කිසිවක් කිරීමට බලාපොරොත්තු නොවන බව ද කීවේය. යුද ගැටුම් පැවැති අවසන් සමයේ 58 වැනි සේනාංකයේ කටයුතු කළ සාමාජිකයන්ට එක්සත් ජාතීන්ගේ ඇතැම් ආයතනවල රැකියාවට හෝ නොගනිමින් අසාදු ලේඛනගත කර තිබෙන බව සඳහන් කළ ඒ මහතා ඒ අනුව ඔවුන්ගේ නිර්දෝෂීභාව ඔප්පු කිරීමේ හැකියාවක් තිබිය යුතු බව ද ඒ වෙනුවෙන් ක්‍රමවේදයක් සකස් කළ යුතුව තිබෙන බව ද පෙන්වා දුන්නේය.

ඒ අනුව අදාළ ක්‍රමවේදය සකස් කිරීමේ මූලික අදියරේ සැලසුම් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පෙන්වාදුන් අලි සබ්රි මහතා අපේ ආරක්ෂක අංශවල කීර්තිනාමයට හානි කිරීමේ වැඩපිළිවෙළවල් ලොව පුරා ක්‍රියාත්මක වන නමුත් ඊට විරුද්ධව රටක් ලෙස කටයුතු කරන බව ද යම් අයකු පීඩාවට පත්ව තිබේ නම් රණවිරුවන් සියලු දෙනාම එකම යාන්ත්‍රණයකින් එම චෝදනාවලින් නිදහස් වීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය. ඒ අනුව සියලු දෙනාටම පිළිගත හැකි පාරිදෘශ්‍යභාවයෙන් යුතුව රටේ ව්‍යවස්ථාවට අනුව ක්‍රමවේදයක් සකස් කළ යුතු තිබෙන බව ද ඒ වෙනුවෙන් කටයුතු කරන්න අවස්ථාව ලැබී තිබෙන බව ද කියා සිටියේය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජයවර්ධන මහත්මිය ද මේ අවස්ථාවට එක්වූවාය.

Leave a Reply

Your email address will not be published.