ගල්අඟුරු පෙත්සමට විරෝධතා ගොනුකිරීමට කල් දෙයි

ඕමල්පේ සෝභිත හිමියන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකරුවන් වෙත කල් ලබාදී තිබේ.

ලක්විජය බලාගාරය සඳහා ගල්අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය ඩුබායි රාජ්‍යයේ පිහිටි ‘බ්ලැක් සෑන්ඩ් කොමෝඩිට්ස්’ සමාගම වෙත පිරිනැමීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනුකර ඇත.

මෙම පෙත්සම අද (07) ප්‍රියන්ත ජයවර්ධන, එස්. තුරෙයිරාජා සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවා තිබුණි.

ඒ අනුව විරෝධතා සති දෙකකදී ගොනු කරන ලෙස වග උත්තරකරුවන්ට නියෝග කළ විනිසුරු මඩුල්ල පෙත්සම ඔක්තෝබර් 25 වනදා සලකාබැලීමට දින නියම කර ඇත.

ලක්විජය බලාගාරයට ගල්අඟුරු මෙට්‍රික්‌ ටොන් මිලියන 4.5ක් සැපයීම සඳහා ටෙන්ඩර් කැඳවා එය ඩුබායි රාජ්‍යයේ බ්ලැක් සෑන්ඩ් කොමෝඩිට්ස් සමාගම වෙත පිරිනැමීමට ලංකා ගල්අඟුරු සමාගම තීරණය කර තිබෙන බව පෙන්වා දෙන පෙත්සම්කාර සෝභිත හිමියන් සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය ට පටහැනිව කටයුතු කරමින්, ටෙන්ඩර් පටිපාටියේ වගන්ති වෙනස් කරමින් අදාළ සමාගමට මෙම ටෙන්ඩරය පිරිනමා තිබෙන බව පවසයි.

ලියාපදිංචි ගල්අඟුරු සැපයුම්කරුවකු නොවන අදාළ සමාගම වෙත මෙම ටෙන්ඩරය පිරිනැමීම හේතුවෙන් රජයට අමෙරිකානු   ඩොලර් මිලියන 500 කට අධික පාඩුවක් සිදුවන බවත් පෙත්සමේ සඳහන් කර තිබේ.

එබැවින් මෙම ගල්අඟුරු ටෙන්ඩරය පිරිනැමීමට අදාළ ක්‍රියාවලිය  සහ ඊට අදාළ නිර්දේශ අධිකරණය හමුවට කැඳවා විමර්ශනයක් සිදුකරන ලෙස බලධාරීන්ට නියෝග කරන මෙන් පෙත්සම්කාර සෝභිත හිමියන් අධිකරණයෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published.