රැජිනියගේ අභාවයෙන් පසු බ්‍රිතාන්‍යයේ සිදු වන වෙනස්කම්

රැජිණ මියගිය පසු සිදු වෙන රාජකීය ක්‍රියාපිළිවෙත, ඉතා කුතුහලය දනවන සිත්ගන්නා ක්‍රියා දාමයක්. එය හඳුන්වන්නේ, Operation London Bridge ලෙස යි.
එළිසබෙත් මහ රැජිණ මිය ගිය පසු සිදු වන පළමු ක්‍රියාව වන්නේ, බකිංහැම් මාලිඟයේ තිබෙන එම රැජිණිය විසින් දෙස් විදෙස් අමුත්තන් පිළිගන්නට භාවිත කරන ලද රාජකීය ආසනය සහ රැජිනිය සංකේතවත් කරන රාජකීය සෙංකෝලය කළු රෙදිවලින් වසා දැමීම යි.
එමෙන්ම රැජිනියගේ රාජකීය ආරක්ෂක බල සේනාව වන බ්‍රිතාන්‍ය හමුදාවේ රාජකීය ආරක්ෂක සෙනඟට අමතර ව, රැජිණියගේ ගුර්කා රෙජිමේන්තු සහ මැරීන් කමාන්ඩෝ සේනාංක බකිංහැම් මාලිඟය, ශාන්ත ජේම්ස් මාලිඟය අවට ආරක්ෂාව තර කරන අතර, රැජිනියගේ රාජකීය ඔටුන්න හෙවත් වසර 177ක් පැරණි “ඉම්පීරියල් ස්ටේට් ක්‍රවුන්” යන නිල නාමය සහිත ඔටුන්න තබා තිබෙන ලන්ඩන් කුළුණ
තාවකාලික ව විශේෂිත අගුළු යොදා සීල් තබනු ලැබෙ යි.
මේ චාරිත්‍රය 16 වැනි සියවසේ සිට එන චාරිත්‍රයක්. එනම් රජෙකු හෝ රැජිනක මිය ගිය විට අලුත් රජු හෝ රැජින පත් වන තුරු, රාජකීය ඔටුන්න සහ අනෙකුත් මෞලී ආභරණ තිබෙන ගබඩාව මුද්‍රා තබා, දැඩි රැකවල් මැද තබනු ඇති.
(එම රාජකීය ඔටුන්න ඇතුළු සමස්ත ආභරණවල වටිනාකම පවුම් බිලියන 4ක්, එනම් රුපියල් බිලියන 2000ක් පමණ වේ.
රැජිනියගේ අභාවයෙන් පසු සිදු වන සෙසු වෙනස්කම්
බ්‍රිතානයයේ මුදල් නෝට්ටු, විදේශ ගමන් බලපත්‍ර හා නිල ඇඳුම්වල ස්වරූපය වෙනස් වීම.
චාල්ස් කුමරු රජ කිරුළ දැරීම හා ඒ සමඟ ම කැමිලා පාකර් නව රැජිනිය බවට පත් වීම.
මෙතෙක් කාලයක් බ්‍රිතාන්‍ය ජාතික ගීයෙහි කියවෙන ‘දෙවියන් අපගේ රැජිනිය රැක දේ වා’ යන්න ‘දෙවියන් අපගේ රජු රැක දේ වා’ යනුවෙන් සංශෝධනය වීම.
පැරණි මුදල් නෝට්ටු බැංකුවලින් හා තැපැල් කාර්‍යාලවලින් කඩිනමින් එකතු කරගන්නා අතර, ඒවා නැවත ජනතාවගේ පරිහරණය සඳහා මුදා නො හැරෙ යි. ඒ වෙනුවට නව රජුගේ රුව සහිත මුදල් නෝට්ටු නිකුත් කෙරෙයි.
නගරවල කිසිදු අනවශ්‍ය ශබ්ධයන් නො නැඟිය යුතු අතර, නිෂ්ශබ්ධතාව අගය කළ යුතු යි.
සියලු ම බී.බී.සී මාධ්‍ය නිවේදකයන් හා කාර්‍ය මණ්ඩලය කළු ඇඳුමෙන් සැරසී රාජකාරි සිදු කරනු ලබන අතර, බී.බී.සී ප්‍රවෘත්ති ලාංඡනය ද කළු පැහැයට හැරවෙ යි.
එසේ ම, විකාශය වීමට නියමිත ව තිබූ කිසිදු විනෝදාත්මක හා හාස්‍යෝත්පාදක වැඩසටහනක් බී.බී.සී නාලිකාවේ විකාශය නො වන අතර, ඒ වෙනුවට රැජිනිය පිළිබඳ වාර්තා වැඩසටහන් පමණක් විකාශනය කෙරෙ යි.
බකින්හැම් මාලිඟයේ ගේට්ටුව ඉදිරිපස කළු පැහැති ශෝක පණිවිඩයක් ප්‍රදර්ශනය කෙරෙ යි.
සියලු ම වාණිජ ගුවන් යානාවල රැජිනිය මිය ගිය පුවත නිවේදනය කරන අතර, රාජකීය පවුලේ නිල වෙබ් අඩවියේ ද රැජිනියගේ අභාවය ප්‍රකාශ කර යි.
සියලු ම ජාතික කොඩි අඩකුඹු වන අතර, පල්ලිවල සීනු නො කඩවා නාද වෙයි.
චාල්ස් කුමරු චාල්ස් රජු බවට පත් වන අතර, මීළඟ වේල්සයේ කුමරු බවට විලියම් කුමාරයා පත් වෙයි. ඒ සමඟ ම විලියම් කුමරුගේ බිරිඳ වන කේට් මිඩ්ල්ටන් වේල්සයේ කුමරිය බවට පත් වෙයි.

Leave a Reply

Your email address will not be published.